ගුරුවරුන්ට තුවක්කු දෙන්න!! – ට්‍රම්ප්ගේ අලුත්ම සොයාගැනීම

ගුරුවරුන්ට තුවක්කු දෙන්න!! – ට්‍රම්ප්ගේ අලුත්ම සොයාගැනීම

ෆ්ලොරිඩා වෙඩි තැබීමෙන් මියගිය සහ විපතට පත් දූ දරුවන්ගේ නෑසිය මිතුරන්ව ට්‍රම්ප් ධවල මන්දිරයේදී මුණ ගැසුණේය. මේ ‘ගුරුවරුන්ට ගිනි අවි දෙන යෝජනාව’ ඔහු සිදුකර තිබෙන්නේ එහිදී ය. එහිදී ඔහු පැවසුවේ මෙසේ ය. “ “This would only obviously be for people who are very adept at handling a gun,”

“මේක තමයි, තුවක්කු දක්ෂ විදිහට පාවිච්චි කරන අය හසුරුවන්න තියෙන නොවරදින ක්‍රමය”

එයින් නොනැවතී ඔහු දිගින් දිගටම ඒ ගැන තර්ක ද කළේය. එයින් ප්‍රහාරකයන් නතර කරන්නට හෝ මර්දනය කරන්නට හැකියාව ලැබෙන බවත් කීවේය.

ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි පසුව කීවේ මෙය “මහා විපතකට රිසිට් එකක් දීමක්’ බවයි. “මේ ක්‍රමය මෙම ගැටළුවට විසඳුමක් බවට කිසිදු පර්යේෂණයක්වත් සාක්ෂියක්වත් නැහැ. මේකෙන් වෙන්නෙ ආයුධ කර්මාන්තයට දිරිදීම පමණයි..” යැයි ඔහු නොවළහා පැවසුවේය.

නමුත් ට්‍රම්ප්ට ඒ ගැන කිසිදු වගක් නැත. අනුන් මොනවා හිතුවත් ඔහු සාමාන්‍යයෙන් එය අදාළ කරගන්නේ නැත. නොඑසේ නම්, ෆ්ලොරිඩා උසස් පාසලේ සිසුන් 17 දෙනා ගිනි අවි ඝාතකයෙකු විසින් මරා දැමීමෙන් අනතුරුව උසස් පාසල් සිසුන් විසින් ධවල මන්දිරය අබියස උද්ඝෝෂණය කිරීමෙන් පසුවත් ඔහුගේ ටිකිරි මොළයට මෙවැනි අදහස් පහළ වීමේ හැකියාවක් නැත. ඒ තරුණ දරුවන් එදා කෑ ගැසුවේ “ට්‍රම්ප්, නුඹ ගැන ලැජ්ජයි” කියා ය. නමුත් ට්‍රම්ප්ට නැත්තේ ද ඒ අවසානයට කියූ දෙයයි.

ඇමරිකාව ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා ය. ට්‍රම්ප්ගේ ඇමරිකාවට, මුළු ලෝකයම වෙඩි උණ්ඩවලින් සුන්නද්දූලි වී ගියත් ප්‍රශ්නයක් නැත.

ආඩම්බරකාර ගිනි අවි කර්මාන්තය

ඇමරිකාවේ ආර්ථිකය මෙපමණකින් හෝ ඇදෙමින් යාමට ගිනි අවි කර්මාන්තය මාර තල්ලුවක් දෙයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ ගිනි අවි නිෂ්පාදන සමාගම් අඩුම තරමින් 147 ක් තිබේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික පුරෝකථන වාර්තාවල ඉහළින්ම සඳහන් වන්නේ ගිනි අවි කර්මාන්තයෙන් ඩොලර් බිලියන අච්චරක් මෙච්චරක් ලැබෙනු ඇත යන්නයි. උදාහරණයක් වශයෙන්, The Firearm Industry Trade Association හෙවත් NSFF, එනම්, ගිනිඅවි කර්මාන්තයේ වෘත්තීය සමිති සම්මේලනය සිය 2017 ආර්ථික පුරෝකථන වාර්තාවේදී සාඩම්බරයෙන් මෙසේ කියයි.

"During difficult economic times and high unemployment rates nationally, our industry has grown and created about 30,000 new, well-paying jobs over the past three years. Our industry is proud to be one of the bright spots in this economy."

“රටේ ආර්ථික වශයෙන් අසීරු කාලයක් සහ ඉහළ විරැකියා ප්‍රතිශතයත් පැවති කාලයේදී වුවද අපේ කර්මාන්තය ගතවූ වසර 3 තුළ හොඳ ගෙවීම් සහිත නව රැකියා අවස්ථා 30000කට වඩා උත්පාදනය කර තිබේ. අපගේ කර්මාන්තය, මේ ආර්ථිකයේ දීප්තිමත්ම සාඩම්බර ලක්ෂ්‍යයකි.”

ගිනි අවි සමාගමක සේවය කරන සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ මාසික වේතනය දළ වශයෙන් ඩොලර් 50,000 ඉක්මවයි. එය සුපිරි ආදායමකි.

2016 වසරේදී ගිනි අවි කර්මාන්තය විසින් රටේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් තුළ උත්පාදනය වූ ඩොලර් බිලියන 51.3කට වගකියා ඇත.

ඉතින් එයින් කියන්නේ ගිනි අවිකාරයන් තමන්ගේ ආඩම්බරකාර කර්මාන්තය ගැන, ආඩම්බරකාර තාත්තාගේ මහිමය ගැන හරි සන්තෝස බව ය. ඒ නිසා ගුරුවරුන්ටත් ගිනි අවි සැපයීමට ට්‍රම්ප් රජය තීරණය කළහොත් එයින් ඔවුන්ගේ මඩිය තවත් තරවනු ඇත. පසුගිය වසරේ සැන්ඩි හූක් වෙඩි තැබීමෙන් පසුවද ඇමරිකාවේ ගිනි අවි වෙළඳාම ඩොලර් බිලියන ගණනකින් ඉහළ ගිය බව සොයාගෙන ඇත. සැබවින්ම ට්‍රම්ප් තරම් ඔවුන් ගැන හිතන නායකයෙක් මේ කපේට තවත් බිහි නොවනු ඇත. ඒ නිසා ඔවුන් ඉදිරියේදී ට්‍රම්ප්ගේ ආණ්ඩුවට තව තවත් සල්ලි පොම්ප කරනු නිසැක ය. මේ වන විටත් රිපබ්ලිකන් පක්ෂයට අරමුදල් සපයන්නන් අතර ගිනි අවි සමාගම් ඉදිරියෙන්ම සිටියි. ඇතැම් වාර්තාවකට අනුව ඇමරිකානු රයිෆල් සම්මේලනය (National Rifle Association- NRA) විසින් ෆෙඩරල් දේශපාලකයන් සඳහා ඩොලර් මිලියන 11 ක සෘජු ආයෝජනයක් සිදුකර තිබේ. එයට අමතරව, ගිනි අවි තහනමට ප්‍රතිපක්ෂ ව කතා කරන දේශපාලකයන්ට මැතිවරණ සමයේදී ප්‍රචාරණ කටයුතු සඳහා තවත් ඩොලර් බිලියන ගණනක් වැය කර ඇත. ඇමරිකානු රයිෆල සම්මේලනය සැලකෙන්නේ, ඇමරිකානු දේශපාලනය තුළ බලය තහවුරු කර ගන්නට අවශ්‍ය ඕනෑම දේශපාලකයෙක් අවශ්‍යයෙන්ම ජයගත යුතු කඩඉමක් ලෙස ය.

ගිනි අවියක් ළඟ තබාගැනීම සහ ගිනි අවි මිලදී ගැනීම ඇමරිකානු පුරවැසියන්ට නීතියෙන් හිමිවන මූලික අයිතිවාසිකමකි. අවසානයේ, ජීවත් වීමේ අයිතිය කෙසේ වෙතත් මේ අනුව, පර පණ නැසීමේ හෙවත් අනුන්ගේ ජීවිත අහිමි කිරීමේ අයිතිවාසිකම නම් මෙනයින් ඔවුන්ට වක්‍රාකාරයෙන් ලැබේ.

සිසුන් 17 දෙනෙකුට දිවි අහිමි කළ ෆ්ලොරිඩා උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව ට්‍රම්ප් ‘බම්ප් ස්ටොක් ඩිවයිසස්’ (bump stock devices) බාලවයස්කරුවන්ට මිලදී ගැනීමට ඇති ඉඩ අහුරමින් නව නීතියක් සාදන ලෙසට අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන්නේය. පසුගිය වසරේ ඇමරිකාවේ ලස් වේගස් හි ප්‍රසංගයට සහභාගි වෙමින් සිටි 58 දෙනෙකුට උන්මත්තකයෙකු විසින් වෙඩි තැබුවේ මෙවැනි ‘බම්ප් ස්ටොක් ඩිවයිස්’ එකක් යොදාගෙන ය. ඒවාට විනාඩියකට උණ්ඩ සියයකට වඩා නිකුත් කිරිමේ හැකියාව තිබේ. ස්වයංක්‍රීය ප්‍රහාරක රයිෆල මේ වර්ගයට උදාහරණයකි. නමුත් දැන් පවතින තත්වය අනුව මේ ‘උපදෙස් දුන්නාය’ යැයි කියන කතාව ඇසුරින් කොතෙක් දුරකට ප්‍රායෝගික විසඳුමක් නිර්මාණය වේ දැයි කිසිවෙක් දන්නේ නැත.

ෆ්ලොරිඩා සිද්ධියෙන් පසු ඇමරිකානු ජාතික රයිෆල සංගමය විසින් අනුග්‍රහය දක්වන ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම නවතා දමන්නට ඇතැම් පුද්ගලික බැංකු කටයුතු කළේය. ගිනි අවි සමාගම් වෙත ආයෝජනය කිරීමට ද ඇතැම් ආයෝජකයන් දැන් මැලිවන බව පෙනේ. නමුත් ආඩම්බරකාර තාත්තා, මේ තත්වය වැඩිකල් පැවතීමට ඉඩ දෙන එකක් නැත. මේ ආඩම්බරකාර තාත්තාට ලොකු සිහිනයක් තිබේ. එය නම්, කනත්තේ ලොකුම සල්ලිකාරයා වීමයිෟ

ස්ත්‍රී නිමිත්තට වෙඩි තබනු!

රුයිතෙට යන මේ ලෝකයේ ‘සැබෑ නායකයන්’ ලෙසින් ජනතාව වැළඳගනිමින් සිටින්නේ මෙවැනි ආත්මාර්ථකාමී පරපීඩක චරිතයන් ය. මෙහිදී ඇමරිකාවේ ආඩම්බරකාර තාත්තාට ඉතාම ආසන්නයෙන් සහ ඊටත් වඩා ඉදිරියෙන් යන තවත් චරිතයක් අපට පිලිපීනයෙන් හමු වේ. ඒ, උන්මත්තක ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටි ය. 2016 වසරේ බලයට පත්වූ ඩුටර්ටි, ‘මතට එරෙහි යුද්ධයක්’ ප්‍රකාශයට පත් කරමින් ‘කුඩ්ඩෙක්‘ යැයි ‘හිතෙන’ ඕනෑම අයෙකුට ‘හිසට වෙඩි තබා මරා දැමීමේ බලය’ සිය තුවක්කුකරුවන්ට ලබාදුන් බවත්, ඒ අනුව මේ වන විට මිනිසුන් 13,000ක් දෙනා මහදවාලේ මරා දමා ඇති බවත්, තවත් දස දහස් ගණනක් දෙනා මිහිපිට අපාය බඳු බන්ධනාගාරවල සතුන් සේ එකගොඩේ ගාල් කර ඇති බවත් මොහොතකට අමතක කරන්න. ඩුටර්ටිගේ සය අවුරුදු ධුර කාලය අවසන් වන්නේ වසර 2022 දී නිසා, මේ මිනී මරන වේගය අනුව ඔහුගේ ධුර කාලය තුළ මිනිසුන් 52,000 ක් ඝාතනය කෙරිණි යැයි ඉතිහාසයේ ලෙයින් ලියැවෙනු ඇත.

නමුත් මේ සියල්ල මොහොතකට අමතක කරන්න. කවුරුන් මොනවා කිව්වත් කළත්, පිලිපීනයේ බහුතර ජනතාවට තවමත් ඔහු ද ආඩම්බරකාර තාත්තෙකි. ඔහු ද ට්‍රම්ප් මෙන්ම පසුගියදා ඉතාම නැවුම් සොයාගැනීමක් කළේය. ඔහු කීවේ පිලිපීනයේ විමුක්තිකාමී අරගලයේ යෙදී සිටින සන්නද්ධ සෙබළියන්ව “අල්ලාගෙන මරාදැමිය යුත්තේ ‘ස්ත්‍රී නිමිත්තට වෙඩි තැබීමෙන්’ බවයි. “ඒක නැතිවුණාම උන්ගෙන් වැඩක් නෑ.. ඒක තමයි හොඳම විසඳුම” යැයි ඔහු නරුම තෘප්තියකින් යුතුව කීවේය.

අන්න නායකයෝ!

හෆින්ටන් පෝස්ට් පුවත්පත නොබෝදා හෙළි කළේ මේ වන විට පිලිපීනයේ ඩුටර්ටි සහ ඇමරිකාවේ ට්‍රම්ප අතර තිබෙන්නේ 80 දශකයේ පිලිපීනයේ මාකෝස් සහ ඇමරිකාවේ රේගන් අතර පැවති දුස්සන්ධානයට සමාන තත්වයක් බවයි. සරලව කියනවා නම් දෙන්නා ගජ මිතුරන් ය. එදා 80 දශකයේදී හෙවත් මාකෝස්ගේ වසර 14 ක ඒකාධිපති පාලනය තුළ ඔහු අමු අමුවේ 3000 ක් දෙනා මරා දැමුවේය. දේශපාලන විරුද්ධවාදීන් 70,000 ක් සිරගත කළේය. 34,000 ක් දෙනා දරුණු වධබන්ධනවලට ලක් කළේය. මාකෝස් සැළුණේ නැත. ජන විරෝධය උත්සන්න වන විට ඔහු උපන් ගමේ පිහිටි පිටිසර ගුවන්තොටකින් ඇමරිකාවට පළා ගියේය. මාකෝස් බය නැතිව ඇමරිකාවටම ගියේ ඇයි? ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ අය හා සමීපතමයන් 90 දෙනෙකුට ද හවායි දූපතේ දේශපාලන රැකවරණය ලබාදීමට රොනල්ඩ් රේගන් සියලු කටයුතු සූදානම් කර තිබූ නිසා ය. රේගන් පසුව හිරිකිතයක් නැතිව මෙසේ ද කීවේය. “මා එසේ කළේ ඇමරිකානු-පිලිපීන සබඳතා පවත්වාගෙන යාමේ පරම අභිලාෂයෙන්...ෟ”

දැන් ට්‍රම්ප් කරන්නේ ද එයයි.

මේ දෙදෙනාම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ස්ත්‍රී නිමිත්තට වෙඩි තැබීමට ආශා කරන අය ය!

ලංකාවේ ද එක් සමයක ගුරුවරුන්ට කෙසේ වෙතත්, විදුහල්පතිලාට හමුදා පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වුණේය. එයට මුල පිරුවේ එකල රාජ්‍ය ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ය. ගිනි අවි නැතත් හමුදා පුහුණුවට සමාන කඨෝර පුහුණුවක් එහිදී විදුහල්පතිලාට ලබාදෙන්නේ ඔවුන්ව ‘කපිතාන්‘ලා කිරීමේ පරම පිවිතුරු අදිටනෙනි. ඒ පුහුණුව ලබාදෙන්නේ ද යුද හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් විසිනි. ඒ අනුව පසුගිය සතියේ ගෝඨාගේම අයියාගේ බලකොටු රාජධානියක් සේ සැලකෙන හම්බන්තොට වීරකැටිය පාසලක විදුහල්පතිනියක් මෙම පුහුණුවේදී අඩි 40 ක ලණු ඉණිමගක නැග්ගවූ නිසා, කඹය කඩාගෙන බිමට වැටීමෙන් මොළයේ රුධිර වහනය වී ගිලන් රියේදීම මියගියේ, ඊනියා හමුදා පුහුණුවේ පළමු නරබිල්ල වශයෙන් ඉතිහාසගත වෙමිනි. දෛවයේ කුමක්දෝ සරදමකට, මේ පුහුණුව පටන් ගත් පෙර රජ සමය වනවිට ඇමරිකාවේ සිටියේ බරාක් ඔබාමා නමැති මධ්‍යස්ථ මනුෂ්‍යයා ය. ඒ වෙනුවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිටියා නම් මේ දෙරටේම රජ කරනු ඇත්තේ ආඩම්බරකාර තාත්තලා ය. එසේ වුණා නම් ඇමරිකාවෙන් අද වාර්තා වන ආකාරයේ ෆ්ලොරිඩා, ලස් වේගස් වැනි පාසල් වෙඩි තැබීම් ලංකාවේද සිදුවන්නට ඉඩ තිබුණේය. එවිට ගුරුවරුන්ට හා විදුහල්පතිලාට හමුදා පුහුණුව සමග ගිනි අවි පුහුණුව ද ලබාදීමට පවා යෝජනා ඉදිරිපත් වීමට තිබුණේය. අපරාදේ!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment