ශ්රුතී නොකී රස රහස.

ලොස් ඇන්ජලිස් නුවර පසුගිය ජනවාරි 28 වැනිදා ඉන්දියානුවන්ට විශේෂිත උපන්දින සාදයක් පැවැත්විණි. ඒ සාදය පැවැත්වුණේ නිල් පැහැති ඇස් ඇති සිහින් සිරුරකට හිමිකම් කියන යුවතියකගේ උපන්දිනය වෙනුවෙනි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුටුවන්ගෙන් නෙත් සිත් පැහැරගන්නා ආකර්ශනීය රූ සපුවකට හිමිකම් කී යුවතියකි.

හොලිවුඩ් පුරවරයේ කෙතරම් ආකර්ශනීය නිලියන් සිටියත් ලොස් ඇන්ජලිස් නුවර එදා පැවැති උපන්දින සාදයේ නිමිත්ත වූ මේ යුවතිය කෙරෙහි වීදි පුරා රස්තියාදු ගසමින් සිටි බටහිර තරුණයන්ගේ ඇල්ම බැල්ම යොමුවූ බව එදින සාදයට සහභාගි වූ කාගෙත් අදහස විය. ‍‍

එදින උපන්දින කේක් ගෙඩිය කපමින් පැමිණ සිටි සමීපතම මිතුරු මිතුරියන් සමඟ සතුට බෙදා හදාගත් මේ යුවතිය අන් කිසිවකු හෝ නොව දකුණු ඉන්දීය සිනමාවේ ජනකාන්ත නළු කමල්හසන්ගේ වැඩිමල් දියණිය ශ්රුතිය. එදින සිය 28 වැනි උපන්දිනය සැමරූ ශ්රුති සමඟ ළඟින්ම සිටියේ ද, ඇය විසින් කපනු ලැබූ කේක්ගෙඩිය ඉඳුල් කරනු ලැබුවේ ද එක්තරා කඩවසම් තරුණයෙකි.

වසරකට වැඩි කාලයක් පුරා කොලිවුඩය නමින් හඳුන්වනු ලබන දකුණු ඉන්දීය සිනමා ලෝලීන්ගේ සහ නළුනිලියන්ගේ කුතුහලයට ලක්වූ ශ්රුතිගේ අභිරහස් පෙම්වතා අනාවරණය වූයේ ඒ අයුරිනි.

එංගලන්තයේ සම්භවයක් සහිත අමෙරිකානු තරුණයකු වූ මයිකල් කෝසෙල් ගැන ඉන්දීය සිනමා ලෝලීන් මීට පෙර දැන සිටියත් දශක ගණනාවක් පුරා කොලිවුඩ් සිනමාවේ සුපෙම්වතා ලෙස කාගෙත් ආදරයට පාත්‍රවී සිටි කමල්හසන්ගේ රූමත් දියණියගේ පෙම්වතා ඔහු බවට අනාවරණය වූයේ මේ උපන්දින සාදයේදීය.

මෑත කාලයේ දෙමළ සිනමාව දිග් විජය කළ සිනමා නිලියන් අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වී සිටින ශ්රුති තම පියා වන කමල්හසන් මෙන්ම රංගනයෙන් පමණක් නොව ගායනයෙන් ද සිනමාව ආක්‍රමණය කළ අපුරු තාලයේ යුවතියකි. කමල් හසන්ගේ සහ ඔහුගේ පළමු බිරිය සරිකා ටාකුර්ගේ පළමු දියණිය ලෙස 1986 ජනවාරි 28 දා උපන් ශ්රුති දැනටමත් ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනකට හිමිකම් කියන ජනප්‍රිය නිලියන් අතරේ ඉදිරියෙන්ම සිටින්නියකි.

දෙමළ සිනමාව පමණක් නොව තෙළිඟු සිනමාවටත් නැතිවම බැරි නිලියක් බවට පත්වී සිටින ශ්රුති බටහිර ලෝකයෙන් පෙම්වතකු සොයා ගනු ඇතැයි කිසිවකු සිතුවේ නැත. දැන් දැන් කවුරුත් කතා කරන්නේ සිය පියා මෙන්ම ආකර්ශනීය නෙතු සඟලකට හිමිකම් කියන රූමත් යුවතියගේ ප්‍රේමය දිනාගැනීමට පොර කෑ කොලිවුඩ් සිනමාවේ පමණක් නොව සමස්ත ඉන්දියාවේහිම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, කඩවසම් බවෙන් කිසිම අඩුවක් නැති තරුණයන් රැසක් පරදවමින් අන්තිමේ දී ඇගේ ජීවිතයේ පංගුකාරයා බවට පත්වූ මේ බටහිර තරුණයා ගැනය.

මෙතෙක් කාලයක් තම ප්‍රේමයෙන් උණුසුම් වන්නට බලා සිටි ඉන්දියාවේ තරුණයන්ට ඒ බලාපොරොත්තු අත්හැර ගන්නැයි කියමින් 32 හැවිරිදි වියට පා තබමින් සිය උපන්දිනය සැමරූ ශ්රුතී පෙම්වතා සමඟ ගත් ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයට මුදා හැරියාය.

ලන්ඩන් නුවර වේදිකා නළුවකු ලෙස ජීවිතය ආරම්භ කළ මයිකල් කෝසෙල් මුලින්ම ශ්රුතිට මුණ ගැසු‍ණේ ද ලන්ඩනයේදීය. බ්‍රිතාන්‍යයේ රොක් සංගීත කණ්ඩායමක් සමඟ ගීතයක් පටිගත කරන්නට ගිය ශ්රුතිගේ ජිවන ගීතයේ කොටස් කාරයා බවට මයිකල් පත්වූයේ එලෙසිනි.

'ආදරය ඇතිවන්නේ පළමු බැල්මෙන්ය.' කියන ප්‍රකට ඉංග්‍රීසි කියමන ගැන ශ්රුතී මෙලෝ හසරක් දැන නොසිටි බව දැන් කියන්නීය. එහෙත් මයිකල් දුටු පමණින් ඇගේ සිත ඔහු කෙරෙහි බැඳුණු බව කියන මේ සුරූපි තරුණිය දැන් කියන්නේ පළමු බැල්මෙන් මිස ආදරයක් ඇතිවෙන්නට වෙනත් විදිහක් නැති බවය.

කොලිවුඩ් සිනමාවට පා තබන ඕනෑම නිලියක් පළමු චිත්‍රපටය තිරගතවීමටත් පෙර පෙම්වතියක වීම සාමාන්‍ය කරුණකි. එය කොලිවුඩ් සිනමාවට පමණක් නොව ලොව ඕනෑම සිනමාවකට පොදු කරුණකි. එසේ වුවත් ශ්රුති අරභයා එවැන්නක් සිදුනොවූයේ සිනමාව දිග් විජය කළ දැවැන්ත නළුවකුගේ දියණියක ලෙස ක්ෂේත්‍රයට පිවිසීම නිසාය. එවැනි නළුවකු‍‍ගේ දියණියට කිට්ටුවීමට නිශ්පාදකයන්, අධ්‍යක්ෂවරුන් පමණක් නොව නළුවන් ද පරිස්සම් වන්නේ කමල් හසන් කෙරෙහි ඇති අප්‍රමාණ ගරුත්වය නිසාම පමණක් නොව සිනමාවේ ඇතුල් පැත්ත ගැන සිනමාවට පිවිසීමටත් පෙර සිටම ඇය හොඳින්ම දැන සිටි බැවිනි.

එනිසාම සිනමා සිත්තමක ප්‍රධාන චරිතයක් ඉල්ලා නිශ්පාදකයන් හා අධ්‍යක්ෂවරුන් හඹා යාමට ‍හෝ ඔවුන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට ඇයට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැත. අනික් අතට එවැනි සුරංගනා කතා මවා පෙන්වමින් නවක නිලියන්ගේ පහස ඇති තරම් භුක්ති විඳින නිශ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට මේ රූමත් නිලියට එවැනි චේතනාවෙන් කිට්ටුවීමටවත් කමල්හසන් ඉඩ තබා නැත.

ශ්රුතිගේ සහ මයිකල්ගේ ප්‍රේම කතාව ඊයේ පෙරේදා ඇගේ උපන්දින සාදයෙන් හෙළිදරවු වූවත් සැබැවින්ම මේ දෙදෙනාගේ පෙම් සම්බන්ධතාව ගැන ඊට පෙර හොඳින්ම දැන සිටි පුද්ගලයකු ද ඉන්දියාවේ සිටි. ඒ කවුරුවත් නොව ඇගේ මව සරිකාය. මීට මාස කිහිපයකට පෙර මුම්බායි නුවර එක්තරා හෝටලය පැවැති ප්‍රිය සම්භාෂණයක දී ඇයට මේ බටහිර තරුණයා හඳුන්වා දුන්නේ ද දියණිය ශ්රුතිමය. ඒ වනවිට ඔවුන් දෙදෙනා අතර එවැනි පෙම් පළහිලව්වක් ඇතැයි ඇය සිතුවේ නැත. සංගීත කටයුතු නිසා නිතර නිතර ලන්ඩනයට යන සිය දියණිය මයිකල්ගේ ආදරයෙන් මුසපත්වී සිටින බව ඇයට දැනුණේ එදිනය.

කොලිවුඩ් සිනමාවේ අන් කිසිදු නිලියකට වඩා පෞද්ගලිකත්වය ගැන අතිශයින්ම අවධානය යොමු කර ඇති ශ්රුතී එරට මාධ්‍ය අතර වැඩිපුරම කතා බහට ලක්වූයේත් ඒ නිසාමය. දකුණු ඉන්දීය පුවත්පත් පමණක් නොව ඉන්දියාවේ ප්‍රකට සිනමා පුවත්පත් රැසක්ම නිතර නිතර කතා බහ කරන්නට වුයේ මේ රූමත් නිලිය තවමත් තනිකඩව සිටින්නේ කෙලෙසදැයි කියාය. එවැනි තනිකඩ නිලියන් නොමැති ඉන්දියාව වැනි රටක ශ්රුති ගත කරමින් සිටි සැහැල්ලු ජීවන රටාව කාගෙත් කුතුහලය දිනාගත් එකක් විය.

එසේ වුවත් ඇගේ මාපියන්ට වඩා උනන්දුවක් දැක්වූ එරට පුවත්පත්වල නිතර නිතර ශ්රුතිගේ ජීවිතය ගැන කතාබහට ලක්විය.

'මගේ ජීවිතය ගැනත්, විවාහය ගැනත් පැතිරී යන ඕපාදූප අහලා දැන් මට හරිම වෙහෙසයි.' ශ්රුති හසන් ඉන්දීය පුවත්පතකට එසේ කීවේ මීට මාස කිහිපයකට පෙරය. එහෙත් ඒ වෙද්දිත් ඇය ලොවට නොකියන රහසක් ඇගේ සිත තුළ තිබිණි. ඒ රහස දැන සිටියේ ඇයත්, ඇගේ පෙම්වතා මයිකලුත් පමණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment