“ඇමතිකම්වලින් ඉවත් වීමට සූදානම්” - ඇමතිවරුන් 16 දෙනෙක් ජනපතිට දන්වති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සම්මුතිවාදී ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් 16 දෙනෙකු සිය තනතුරුවලින් හා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව ජනාධිපතිතුමාට දන්වා තිබේ.

එහෙත් තවමත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින 16 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරුන් දෙදෙනා ඇතුළු 26 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම අවසන් වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 21 දෙනෙක් අත්සන් කර අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ නිදහස් පක්ෂයේ 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දුන්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙකු හා නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එය ඊයේ කථානායකවරයාට භාර දුන් නමුත් පස්වරුවේ වාර්තා වූයේ, එය ඉවත් කර ගැනීමට අගමැතිවරයා උපදෙස් දුන් බව ය.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සාකච්ඡා කළ යුතුව තිබූ නමුත් එවැන්නක් සිදුව නැතැයි අගමැතිවරයා සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ පිළිබඳව සඳහන් කරමින් ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ ස්ථාවරය යි.

ලබන සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත අතර එහිදී උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කරනු ඇති.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment