ටෙලිකොම් - මොබිටෙල් : ජනපති මලයගේ දුෂණය නිමක් නෑ?


ජනාධිපතිවරයා දුෂණයට ඔතරම් විරුද්ධ නම් ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ යුතු බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරයි.

ඒ  මේ වන විට එම ආයතනය බරපතල සැක සහිත ගනුදෙනු වලින් පිරීගත්  අන්ත දුෂිත මෙන්ම ඉතිහාසයේ කිසිදා නොවූවිරූ පාඩුවක් ලබන තැනට පත්ව ඇති නිසාය.

රහසේ සිදුකළ ඩොලර් මිලියන 85 (රුපියල් බිලියන 13 කට අධික ) ගනුදෙනුව 

වාර්තා වන තොරතුරු අතුරින් ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් හී සිදුව තිබෙන එවැනි අතිශය සැකසහිත ගනුදෙනුවක් වන්නේ Mobitel - stage 8  (upgrade) ටෙන්ඩරය Huawei සමාගමට සහ ZTE සමාගමට ලබාදී ඇති ආකාරයයි. 

Huawei සමාගමට ලබාදී ඇති ටෙන්ඩරයේ වටිනාකම  ඇමරිකානු ඩොලර් මිලියන 79 ක් වන අතර  ZTE සමාගමට ලබාදී ඇති ටෙන්ඩරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6 කි. 

මෙහි ඇති ගැටළුව වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 85ක් තරම් ඇති විශාල වටිනාකමකින් යුතු  අදාළ ගනුදෙනුව සිදුකිරීමේදී කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොතිබීමය.  මෙවැනි අධික වැයක් දරන්නට සිදුවන ගනුදෙනුවකදී ඒ සඳහා කැබිනට් අනුමැතිය මෙන්ම විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ සිදුකිරීම නෛතික අවශ්‍යතාවක් වුවත් ඒ ගැන කිසිඳු තැකීමක් ටෙලිකොම්- මොබිටෙල් පරිපාලනය සිදුකර නොමැත.

සේවක පිරිස් සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව මුළුමනින්ම පසුගිය වසරේ සිදුකොට ඇත්තේ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනගේ මැදිහත්වීම මතය.

සභාපති කුමාරසිංහගේ චීන සංචාරයට - Huawei අනුග්‍රහය 

එසේම මෙම ගනුදෙනුව තවදුරටත් සැක උපදවන කාරණයක් වන්නේ පසුගිය සිංහල - හින්දු අවුරුදු සමයේ එනම් අප්‍රේල් 16 සිට 22 දක්වා පී.ජී කුමාරසිංහගේ සමස්ථ පවුලටම චීන සංචාරයක් සඳහා Huawei සමාගම අනුග්‍රහය දක්වා ඇති බවද සේවක පිරිස් එල්ල කරන චෝදනාවය.

IT අංශයත් Virtusa සමාගමට : වසරකට රුපියල්  බිලියන 1ක් වැය බරක් 

එපමණක් නොව මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් හී IT අංශය නංවාලීම සඳහා කියමින් Virtusa සමාගමට ලබාදීමේ සුදානමක් පවතින බවද වාර්තා වෙයි. ඒ පිළිබඳ සේවක පිරිස් අනාවරණය කරමින් සඳහන් කරන්නේ IT අංශයේ සමස්ථ ක්‍රියාවලිය වසරකට  රුපියල් බිලියන 1ක් ගෙවා  අදාළ සමගම හරහා සිදුකර ගැනීමේ  අපේක්ෂාවෙන් මෙම කටයුත්ත දියත්කර ඇති බවය.

එහිදීද කිසිඳු ටෙන්ඩර් කැඳවීමක් හෝ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුව නොමැති බවද ඔවුන් සඳහන් කරයි. එපමණක් නොව ශ්‍රී ලංකා ටෙලිකොම් හී හදවත බඳු IT අංශය පෞද්ගලික සමාගමක් හරහා කරවා ගැනීමට යාම තුළ සමස්ත ආයතන පද්ධතියම අවධානමේ වැටීමක් සිදුවන බවද ඔවුන් පෙන්වා දෙයි. 

හැමෝම නොදැක්කා වගේ ඉන්නේ ජනාධිපතිගේ සහෝදරයා නිසා 

මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරන පාර්ශව සඳහන් කර සිටින්නේ මේ කිසිඳු සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධව මාධ්‍ය හෝ වගකිවයුතු පාර්ශව කතා නොකරන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී.කුමාරසිංහ , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයාවීම ඊට හේතුවී ඇති බව තමන් විශ්වාස කරන බවය. 

සභාපති කොච්චර දක්ෂද : 5 ගුණයකින් ණය බර වැඩි කර ඇත !

එසේම වත්මන් සභාපතිවරයා යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් හී කඩාවැටීම පෙන්වා දෙමින් තොරතුරු මුලාශ්‍ර සඳහන් කරන්නේ මේ වන විට රුපියල් බිලියන 35 කට අධික ණයක් සහිතව ආයතනය මුල්‍ය අර්බුදයකට ගමන් කර ඇති බවත් ආයතනය පවත්වාගෙන යන්නේ මහජන බැංකුවෙන් ලබාගත් බැංකු අයිරාවකින් බවය. 

එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ශ්‍රී  ටෙලිකොම් හී ණය ප්‍රමාණය රුපියල් බිලියන 6.9 ක් පමණක් වූ බවත් ඒ ණයද සමාගම ගෙන ඇත්තේ ආයතනය වර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති සඳහා බවද වාර්තා වෙයි.

මිලියන 500 ක පාඩුවක් !

ඒ අනුව ආයතනයේ ණය 5 ගුණයකින් පමණ වැඩිකිරීම හැර ආයතනයේ යහපත වෙනුවෙන් වත්මන් සභාපතිවරයා සිදුකළ කිසිඳු සේවයක් නොමැති බවද සඳහන් වෙයි. එසේම   ආයතනය රුපියල් මිලියන 500ක පමණ බරපතල පාඩුවක්  ලබමින් සිටින බව ඒ හේතුවෙන් සේවකයින්ගේ බෝනස් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවත්  සඳහන් කරන තොරතුරු මුලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මේ ආකාරයට තවත් කාලයක් ගියහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් බංකොලොත්වීමේ අවධානමක්ද පවතින බවය.

සභාපතිගේ අහිංසක ආසාව : කිත්ති පෙරේරා කොහොම හරි CEO කරන්න 

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් හී විධායක නිලධාරී කිත්ති පෙරේරා මේ වන විටත් පුරප්පාඩුව පවතින ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා යොදා ගැනීමේ උත්සාහයකද සභාපතිවරයා නිරතව සිටින බව වාර්තා වෙයි. 

ටෙලිකොම් සභාපති කුමාරසිංහ මේ සම්බන්ධව "කිත්තිව CEO කරමු. මට ඒකට ඔයාලගේ උදව් ඕන" යනුවෙන්  අධ්‍යක්ෂ මණ්ඩලයටද පවසා ඇති බවත් වාර්තා වෙයි.   අයතා ඉපයීම් සම්බන්ධව දුෂණ චෝදනා ලාභියකු වන කිත්ති පෙරේරා  ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වුවහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් පවතින තත්ත්වයද ඊට අහිමි වන බව මෙන්ම මේ වන විටත් ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ඇබෑර්තු නිවේදනයේ දැක්වෙන සුදුසුකම් ද කිත්ති පෙරේරා සපුරා නොමැති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

සභාපතිගේ දෑත් ශක්තිමත් කරන්න : රාජපක්ෂ නඩය හරි හරියට වැඩ 

එසේම කිත්ති පෙරේරා ඇතුළු රාජපක්ෂ හිතවාදී නඩයක්ම මේ වන විට සභාපතිවරයා සමඟ මෙම දුෂිත ගනුදෙනු රැසක නිරතව සිටින බවත් එය ජනාධිපතිවරයාගේ දේශපාලන කීර්ති නාමයට බරපතල හානිකර තත්ත්වයක් බවද ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව තොරතුරු මුලාශ්‍ර සඳහන් කර සිටින්නේ මේවා ගැන කෝපනොවී එල්ලවන චෝදනා ඇත්තද නැත්තද යන්න ගැන විමර්ශනය කිරීමේ යුතුකමක් ජනාධිපතිවරයාට ඇති බවය. එසේම එවැනි විධිමත් විමර්ශනයක් සිදුකළ විට ශ්‍රී ලංකා ටෙලිකොම්- මොබිටෙල් හී සිදුව තිබෙන දුෂණ සම්බන්ධවද ජනාධිපති විමර්ශන කොමිසමක් අවශ්‍ය බවට කරන යෝජනාවේ සාධාරණත්වයක් ඇති බව පෙනීයනු ඇති බවද ඔවුන් සඳහන් කරයි.

(News tube)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment