බස් ගාස්තු වැඩි වීම ගැන කියන කතා

බස් ගාස්තු වැඩි වීම ගැන කියන කතා

ඒ අනුව මෙතෙක් කාලයක් අවම ගාස්තුව වූ රුපියල් 10ක මුදල අද සිට රුපියල් 12 දක්වා වැඩි වී තිබේ.

12.5%ක් වූ මෙම බස් ගාස්තු සංශෝධනය ප්‍රවාහන අමාත්‍යංශය, ජාතික ගමනාගමන මණ්ඩලය මෙන්ම බස් සංගම් හිමියන් විවිධ මත පළකර සිටී.

බස් ගාස්තු වැඩි වුණේ අපේ අවාසනාවට

බස්රථ ගාස්තු ඉහළ දැමීම අවාසනාවන්ත තත්ත්වයක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

"අපි දිගින් දිගටම කියා සිටියා මේ වසරට පමණක් සියයට 10ක බස් ගාස්තු ලබා දෙන්න කටයුතු කළ යුතුයි කියලා. ඒ බස් ගාස්තු හිමියන්ගේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ. නමුත් අවාසනාවට ඇතැම් අපේ අනුවණ බස් හිමියන් කණ්ඩායමක් විසින් කරපු දේ නිසා වසර දෙකටම හිමි වුණේ සියයට 12.5ක්. මෙතන තිබෙන බරපතළම ගැටලුව වන්නේ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අහෝසි වීම. ඒ නිසා නැවත වරක් බස් ගාස්තු හෝ වෙනයම් දෙයක් ගැන හිතන්න වෙන්නේ 2020 ජූලි මාසයේදී.

ගැමුණු කියන දේ කරන්න බැහැ

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ වසර දෙකක් යනතුරු නැවත බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

"ගැමුණු මහත්තයා ඉල්ලපු දේ දුන්නාම අනිත් අය මේක වර්ජනය කරනවා. ඒ නිසා මම එතුමාගෙන් ඇහුවා වර්ජනය කරන්නේ නැතුව දුවන්න පුළුවන්ද කියලා, එතුමා බැහැ කියනවා නම් එතුමා කියන දේ තේරුමක් නැහැ. බස් වර්ජනයක් කළාම ජනතාව අපහසුතාවයට පත් වෙනවා. මම ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඇහුවා බස් වර්ජනයක් කළොත් ඒ අයට එකට මූණ දෙන්න පුළුවන්ද කියලා, ඒ අය කියනවා ලක්ෂ 70ක් පෞද්ගලික බස්වල යනවා අපේ ලක්ෂ 22යි යන්නේ ඒ නිසා මේක කරන්න අමාරුයි කියලා. ඒ නිසා වසර දෙකක් යනතුරු බස් ගාස්තු නැවත සංශෝධනය නොවන පදනම මත බස් වර්ජනය නතර වෙලා තියෙනවා."

තීන්දුව තියෙන්නේ රජය අතේ

අවුරුදු දෙකක කාලය තුළ බස්රථ ගාස්තු වැඩි නොකර සිටීමට නම් ඉන්ධන මිල සහ බස් රථ අමතර කොටස් මිල වැඩි කිරීමක් සිදු නොකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

"අපි විශ්වාස කරනවා, රජය ප්‍රකාශයට පත් කරන ආකාරයට අවුරුදු දෙකක කාලයක් තුළ බස් ගාස්තු සංශෝධනයකට නොයෑමේ තීන්දුව පවතින්නේ රජය අතේ. එනිසා රජය ඩීසල් මිල, වාහන අමතර කොටස් මිල වගේ සියලු දේවල් සමනය කරනවා නම් වසර දෙකක කාලයක් තුළ බස් ගාස්තු සංශෝධනයකට යන්න අපිට කිසිදු අවශ්‍යතාවයක් නැහැ."

මාස තුනක් ඇතුළත ගැටලුවට විසඳුම් අවශ්‍යයි

බස් ගාස්තු වැඩි කිරීමේ ජාතික ප්‍රතිපත්තියේ පවතින ගැටලු ඉදිරියේදී සාකච්ඡා කර විසඳුමකට එළඹෙන බව අන්තර් පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසයි.

"ප්‍රතිපත්ති අහෝසි කරනවා කියන එක නෙවෙයි, මේ ගැන සාකච්ඡා කරලා මෙහි තියෙන ගැටලු මාස තුනක් ඇතුළත විසඳාගත යුතුයි. ප්‍රශ්නයක් ආවම ඊට මුහුණ දෙනවා මිසක් මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගැහුවට වැඩක් නැහැ."

ලංගම බස් ගාස්තුත් අද සිට ඉහළට

මේ අතර ජාතික ගමනාගමන මණ්ඩලයේ බස් ගාස්තු ද අද දිනයේ සිට ඉහළ දමන බව එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ඩී.චන්ද්‍රසිරි මහතා පැවසීය.

"තම තමන්ගේ බස් රථවල ගාස්තු සටහන ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා අපි දැනුම් දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලෙස අපි මගීන්ගෙන් ඉල්ලීමක් කළා ගාස්තු සංශෝධනයට සූදානම් වෙන්න කියලා. ඒ වගේම ඉතුරු කාසි දුන්නේ නැහැ කියන චෝදනාව නිතරම එනවා. එය අනාවරණය කිරීම ගැන විනය පියවර ගැනීමට අපිට ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ වගේම ගෙවන මුදලට සරිලන ප්‍රවේශ පත්‍රය ලබා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා."

නාගොඩ සුමන උදයන්ත- ගාල්ල

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment