
උද්ඝෝෂණය හේතුවෙන් තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා ඇතිවූ අතර හුංගම පොලිසිය විසින් විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනා ගමනය සිදුකරවීමට කටයුතු කෙරිණි .
හම්බන්තොට ගොඩවාය, කලමැටිය, රැකව , වැලිපටන්විල යන ධිවර වරයන්හි ධිවරයන් 400ක් පමණ එක්ව පැයක පමණ කාලයක් මාර්ගය වසාගෙන විරෝධතාවය පැවැත්වූ අතර පසුව හුංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ධීවරයන් සමග සාකච්චා කර සාමකාමිව විරෝධතාවය විසුරවා හැරීමට කටයුතු කෙරිණි.
විරෝධතාවයට එක්ව සිටි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා මෙසේ අදහස් දැක්වීය.
"2012 මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුව කාලේ කූපන් එකෙන් රැවැට්ටුවා. කූපන් එක දුන්නෙ නෑ. කූපන් නෙවෙයි තෙල් මිල අඩු කරන්න කියලා ඉල්ලා සිටියා. තෙල් මිල ඉහළ දැමීමත් සමග ධීවර ප්‍රජාව තමන්ගේ මුහුදු රස්සාවෙන් ඈත් වෙන මට්ටමට පත් වෙලා තියෙනවා. භූමිතෙල් මිල 130%කින් ඉහළ දමලා තියෙනවා මේ ආණ්ඩුව. ඉතිහාසයේ වැඩිම ඉහළ දැමීම තමයි මේ සිද්ධ වුණේ. සුළුපන්න ධීවර කාර්මිකයො තමයි බහුතරයක් ඉන්නෙ. පිටත එන්ජින් සවි කළ යාත්‍රාවලින් ගමන් කරන ධීවරයින් බහුතරයක් ඉන්නෙ. මේ භූමිතෙල් මිල ඉහළ දැමීමත් සමග රු.40000ක අමතර ඉන්ධන පිරිවැයක් දරන්න වෙනවා තෙල්වලට. බහුදින ධීවර යාත්‍රාවලටත් රු35,000 ක අමතර පිරිවැයක් මාසෙකට දරන්න සිද්ධ වෙනවා තෙල්වලට. එක් දින ධීවර යාත්‍රාවලටත් රු.25000ක් පමණ තෙල් සඳහා මසකට දරන්න සිද්ධ වෙනවා.
මේ රටේ ධීවර කර්මාන්තයට කණකොකා හඬන යුගයක් තමයි මේ ආණ්ඩුව ගේන්න හදන්නෙ. ඒ නිසා අපි මේ මොහොත වන විට රටේ විවිධ ධීවර සංගම් එක්ක සාකච්ඡා කරමින් යනවා. අද (13) පටන්ගත්ත මේ විරෝධතා ව්‍යාපාරයෙන් අපි ඉල්ලීමක් කරනවා හෙට සියළුම ධීවර වරායවල්වල, නැංගුරම්පොළවල්වල තොටුපළවල කළු කොඩි ප්‍රදර්ශනයට පත් කරලා විරෝධතාවයක් ප්‍රකාශයට පත් කරන්න කියලා.
කැබිනට් එකේ මැති ඇමතිගොල්ල වැඩි කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බෑ. විද්‍යාත්මක පදනමක් කියනවා. ඒ මොකද්ද කැබිනට් එකේ මැති ඇමතිවරු වැඩිවෙනකොට තෙල් මිල වැඩි වෙන එකද? විද්‍යාත්මක පදනම අනුලෝමව සමානුපාතිකයි කියන එක ද? ඒ නිසා සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය තෙල් මිල වහා අඩුකරන්න කියලා අවධාරණය කරනවා."
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි -හම්බන්තොට







0 comments :
Post a Comment