ගැබිණි මවට හා දෙදෙනෙකුට හිමි නම කැත්තෙන් කොටලා

සිගිරිය - හේන්වලයාගම ප්‍රදේශයේ විහාරස්‌ථානයක හිමිනමක්‌ හා යාබද ඉඩමක පිරිසක්‌ අතර ඇතිවූ බහින්බස්‌වීමක්‌ දුරදිග යෑමෙන් පසු එම හිමිනම විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් අටමස්‌ ගැබිනි මවක්‌, ඇගේ සොහොයුරා හා සැමියා බරපතළ කැපුම් තුවාල සහිතව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදුන් බවට සැකකෙරෙන හේන්වලයාගම විහාරස්‌ථානයේ සීගිරියේ ධම්මින්න (40) හිමියන්ද තම වම් අතේ ඇඟිලි දෙකක්‌ කැපීමෙන් තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ 35 හැවිරිදි රේණුකා දමයන්ති, ඇගේ සැමියා වන කොළඹ පොලිස්‌ මූලස්‌ථානයේ අපරාධ අංශයේ පොලිස්‌ නිලධාරියකු වන නුවන් මනෝඡ් සේනාරත්න (36) හා කාන්තාවගේ සොහොයුරා වන යුද හමුදා සෙබළෙකු වන බී. බී. විඡේසිරි (31) යන තිදෙනාය.

කැපුම් තුවාල ලැබූ කාන්තාව ඇතුළු තිදෙනා සැත්කම්වලට

ලක්‌කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

බී. බී. විඡේසිරි යන අය කියා සිටියේ තමා විසින් පරිත්‍යාග කළ ඉඩමක අදාළ විහාරස්‌ථානය ඉදිකර තිබෙන බවත් තම සොහොයුරියට හිමිනම පහරදෙනු දැක එය වළක්‌වාලීමට උත්සහා දැරීමේදී තමාටද තුවාල සිදුවූ බව හෙතෙම කියා සිටියේය. එම ඉඩමට යාබදව ඉඩම පරිත්‍යාග කළ අයගේ වැඩිමල් සොහොයුරිය නිවෙසක්‌ තනාගෙන පදිංචිව සිටින බවද ඔහු කීය. (15 දා) උදෑසන විහාරස්‌ථාන භූමිය පිරිසිදු කළ හිමිනම විසින් එම අපද්‍රව්‍ය යාබද ඉඩමකට බැහැර කර ගිනි තැබීමෙන් පසු මෙම ආරවුල සිදුව ඇති බව පොලිසිය කියයි.

එසේ ඇතිවූ බහින්බස්‌වීම දුරදිගයැමෙන් පසු එම අවස්‌ථාවේම හිමිනම විසින් විහාරස්‌ථානය තුළ තිබූ කැත්තක්‌ ගෙනවිත් තම ගැබිනි බිරිඳ ට පළමුවෙන්ම කැත්තකින් පහරදීමත් සමග ඇගේ දරු කුසට එම පහර වැදුණු බවත් තවදුරටත් පහරදීම වැළැක්‌වීමට තමා උත්සහා දැරීමේදී තමාගේ හිසට පහරක්‌ එල්ලවූ බවත් එම අවස්‌ථාවේ බිරිඳගේ සොහොයුරා ද එම ගැටුම වලකාලීමට උත්සාහ දැරීමේදී ඔහුද කැපුම් තුවාල ලැබූ බව ප්‍රතිකාර ලබන නුවන් සේනාරත්න පැවසීය.

මේ පිළිබඳව ප්‍රකශයක්‌ ලබාදීම ප්‍රතිකාර ලබන හිමිනම ප්‍රතික්‌ෂේප කළේය.

-සරත් එරමිනිගම්මන-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment