ලංකාවේ 10 වන වෛද්‍ය පීඨය අද විවෘත වෙයි.


ලංකාවේ ස්ථාපිත දහවැනි වෛද්‍ය පීඨය ලෙස සබරගමුව විශ්වවිද්‍යලය සඳහා අභිනවයෙන් ඉදිකළ නව වෛද්‍ය පීඨය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ සහභාගීත්වයෙන් අද දින (17) පෙරවරු 10.30 ට විවෘත කිරීමට නියමිතය.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණෙන් නව වෛද්‍ය පීඨ තුනක් සබරගමුව, වයඹ හා මොරටුව විශ්ව විද්‍යාල සඳහා ඉදි කිරීමට වත්මන් රජය 2016 අයවැය තුළින් කරන ලද යෝජනාවක් මත මෙම නව වෛද්‍ය පීඨය කුරුවිට බටුහේන ප්‍රදේශයේ ඉදිකර ඇත.

මෙම නව වෛද්‍ය පීඨය විවෘත කිරීමත් සමඟ එහි සායනික කටයුතු වෙනුවෙන් රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම ද මෙදිනම සිදු කෙරෙන අතර මෙම වෛද්‍ය පීඨය සඳහා 2017 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සුදුසුකම් ලද සිසුන් 75 දෙනකු අලුතින් බඳවා ගැනීමට අදාළ කටයුතුද මේ වනවිට සිදුවෙමින් පවතී. වෛද්‍ය පීඨයක අවශ්‍යතාව හා එම සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කුරුවිට, බටුහේනේ තිබූ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානය ද වෛද්‍ය පීඨයේ කටයුතු වෙනුවෙන් පවරා දීමට කටයුතු කළ බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත පවසයි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සදහා රජය මඟින් 2018 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2000 ක මුදලක් ද වෙන් කර තිබේ. එමෙන්ම වෛද්‍ය පීඨයේ අයිතිය සම්බන්ධ ඔප්පුව ද මෙදින සබරගමුව විශ්වවිද්‍යාලයට බාර දීමට නියමිත අතර වයඹ හා මොරටුව විශ්වවිද්‍යාල සඳහා ද නුදුරේදී නව වෛද්‍ය පීඨ විවෘත කිරීමට නියමිත අතර ඒ සඳහා බඳවා ගන්නා සිසුන්ගේ සායනික කටයුතු සඳහා කළුතර මහ රෝහල සහ කුළියාපිටිය මුලික රෝහල සංවර්ධනය කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙම නව පීඨ තුනත් සමඟම මෙරට පළාත් නවයෙන් අටකම වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීම සිදුවෙනු ඇත. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අවශ්‍ය අති නවීන පහසුකම් සහ තාක්ෂණයෙන් යුතු රසායනාගාර පහසුකම් සැකසීමේ කටයුතු ද මේ වන විට අවසන් කර තිබෙන අතර අංග සම්පූර්ණ නේවාසිකාගාර පහසුකම්වලින් ද සමන්විත වෙනු ඇත.

නව වෛද්‍ය පීඨය විවෘතවීමත් සමග රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වීමෙන් සබරගමුව පළාතේ ජනතාවට පමණක් නොව ඌව පළාතේ ජනතාවට ද විශාල සහනයක් ලැබෙනු ඇතැ අතර රත්නපුර මහ රෝහලට මහාචාර්ය ඒකකයක් ද අළුතින් මේ සමඟ එක්වෙනු ඇත.

මහාචාර්ය සනත් ළමාබදුසූරිය මහතාගේ උපදේශකත්වය මත ක්‍රියාත්මක වන වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපතිවරිය ලෙස මහාචාර්ය නිර්මලී වික්‍රමසිංහ කටයුතු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget