ජනාධිපතිවරණයට රනිල්ද? කරුද? : එජාපයේ කසුකුසුවක්!


එළඹෙන මාස කිහිපය තුළ ඉක්මන් ජනාධිපතිවරණයක් පවත්වන්නට වර්තමාන ජනාධිපතිවරයා තීරණය කළහොත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ හෝ කරු ජයසූරිය විය යුතු යැයි මත දෙකක් එම පෙරමුණ තුළ මේ වන විට නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය කුමන්ත්‍රණකාරී අවධියේ පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් ඉහළ දායකත්වයක් දැක්වීම නිසා කරු ජයසූරිය මහතා ජනප්‍රසාදයට ලක්වූ බවත්, ඒ නිසා ඔහු පක්ෂයේ මීළඟ අපේක්ෂකයා විය යුතු බවත් එජාප මන්ත්‍රීවරුන් පිරිසකගේ මතය වී තිබේ.

එම කණ්ඩායම විශ්වාස කරන්නේ කරු ජයසූරිය මහතා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

රනිල් වික්‍රමසිංහට හිතවත් මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂයේ ඉහළ නිලධාරීන් බහුතරයකගේ මතය වී ඇත්තේ එජාපයේ මීළඟ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ විය යුතු බවය. එළැඹෙන ජනාධිපතිවරණයේදී අනික් පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ මෛත්‍රීපාල සිරිසේන නම් රනිල් වික්‍රමසිංහට ඔහු සමග තරගයක් නැති බව එම පාර්ශ්වයේ විශ්වාසය වී ඇත.

මේ අතර රවී කරුණානායක පාර්ශ්වයද, රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා බවට පත්වීමට විරුද්ධව කටයුතු කරන්නට පටන්ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර ඔහුගේ කැමැත්තද කරු ජයසූරිය බව දැනගන්නට ලැබේ.

(අනිද්දා)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget