චම්පික ශ්‍රී ලංකාවේ නම වෙනස් කරන්න කතා කරයි!

මේ රට ලබා ඇති ලොකුම පාපය පවුල් වාදය බවත් දැනට රට හඳුන්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ශ‍්‍රී ලංකා ජනරජය කියන එක වෙනුවට නිකම්ම ශ‍්‍රී ලංකා ජනරජය කියලා නම් කරන්න කියා තම පක්ෂය යෝජනා කරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්‍ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන මගින් ඉදිකරන ලද නව මාළු වෙළඳසැල් වැලිගම නගර සභාවට පවරාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘අපේ රටේ ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ තිබෙන ප‍්‍රශ්නය ගැන අවබෝධයක් නැහැ. අද අපේ රජයට සිදුවෙලා තිබෙනවා රටේ සංවර්ධනයට වැය කරන මුදල වගේ තුන් ගුණයක් ණය ගෙවන්න වැය කරන්න. මේ ප‍්‍රශ්නේ විසඳන හැටි කියන්න කවුරුත් නැහැ. හැමෝම නත්තල් සීයලා වගේ බෙදන එක ගැන තමයි කතා කරන්නේ. නොමිලේ හැමදේම බෙදන එක ගැන තමයි කතා කරන්නේ. විශාල තිබෙන ණය කන්ද විසඳීම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් අපේ අමාත්‍යාංශය ගැන අපි බය නැතිව කියනවා මම ඇමති කෙනෙක් වෙලා වසර 12 ක් වෙනවා. ඒ හැම අමාත්‍යාංශයකම ණය බරින් එම ආයතන බේරගනු ලැබුවා. උදාහරණයක් වශයෙන් අපගේ ඉඩම් සංවර්ධන සංස්ථාව 2015 මම බාර ගන්නකොට මිලියන 155 ක පාඩුවක් තිබූ ආයතනයක්. අද මිලියන 1500 ක් ලාභයි. රටක් ආණ්ඩු කරනවා නම් අපේක්‍ෂකකම් ඉල්ලන්න කලින් ණය බරින් රට මුදා ගන්නේ කොහොමද? රටේ ඉදිරි අනාගතය ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක ගැන වැඩපිළිවෙලක් ඕනේ. ඒ වගේම මේ රටේ තිබෙනවා මහා ලොකු පාපයක්. ඒ තමයි පවුල් වාදයට මුල්තැන දී ගමන් කිරීම. ඒ වගේම නිපුණතාවය, කුසලතාවය මුල්කරගෙන කටයුතු කරන රටක් හදන්න ඕනේ.

2005 දී, 2010 දී, 2015 දී ජනාධිපතිධූරයේ ජයග‍්‍රාහකයාට අවශ්‍යකරන පාර කැපුවේ අපි. ලබන වරත් ඒ පාර කපනවා. විශේෂයෙන්ම මේ රටේ ණය බර තුරන් කරන්න පුළුවන්, කුසලතාවයට මුල්තැන දෙන රටක්, රටේ උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර හැම කොණම එකතු කරන්න පුළුවන් රටක්. ඒ වගේම මේ රටේ කැරළි විශාල ප‍්‍රමාණයක් ඇති වුණා. නැවත වතාවක් මේ රටේ දකුණේ දරුවොවත්, උතුරේ දරුවෝවත් මිය යන්නේ නැති හැම දෙනාටම ශක්තිමත්ව මේ රටට දායකත්වය ලබාදෙන්න පුළුවන් කුසලතාවය මුල්කරගත් රටක් අපි බිහිකරනවා. එක් පවුලකට දෙකකට සීමා නොවූ පවුල් ලක්‍ෂ පනස් පහටම ජයග‍්‍රහණ ලැබෙන රටක් හදන්න තමයි අපි කැපවෙන්නේ. අපේ පක්ෂයත් කියන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ශ‍්‍රී ලංකා ජනරජය කියන එක වෙනුවට නිකම්ම ශ‍්‍රී ලංකා ජනරජය කියලා නම් කරන්න කියලා. ඒක මේ නම වෙනස් කරන්න කියලා බොරු මගඩි කි‍්‍රයාදාමයකින් මාධ්‍යවලින් රට නොමග යනවා. ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී එහෙම නැත්නම් සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෑලි අතඇරලා ශ‍්‍රී ලංකා ජනරජය කියල හැඳුන්නුවහම හොඳටම ඇති’ යැයි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment