විදුලි බිඳවැටීම්වලට පියවර ගන්න ජනපතිගෙන් කමිටුවක්

රට තුළ හදිසි විදුලිය ඇණහිටීම් හා ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

විදුලි බිඳවැටීම්වලට පියවර ගන්න ජනපතිගෙන් කමිටුවක්
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 රට තුළ හදිසි විදුලිය ඇණ හිටීම් හා ඒ සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වයන් මෙන්ම ඉන් බාහිර කටයුතු පරීක්ෂා කර අදාළ තත්ත්වයන් පිළිබඳ සැලකිළිමත් වී ඊට ගත යුතු කඩිනම් පියවර රජයට නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබේ.

අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, පාඨලි චම්පික රණවක, සුසිල් ප්‍රේම්ජයන්ත, සාගල රත්නායක යන  අය මෙම කමිටුව සඳහා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊට අමතරව ඉරාන් වික්‍රමරත්න, අජිත් පී.පෙරේරා යන නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙම කමිටුව සඳහා පත් කර තිබේ.

මෙම කමිටුවේ පළමු වාර්තාව සතියක් තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

විදුලිබල ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා සහ ගැටලු නිරාකරණය කර රටේ ජන ජීවිතය හා සංවර්ධන ක්ෂේත්‍රයට කිසිදු බලපෑමක් ඇති නොවන සේ සේවාවන් ලබාදීමට අවශ්‍ය නිර්දේශ මෙම කමිටුව මගින් ඉදිරිපත් කරනු ඇත.

 මාස තුනක පමණ කාලයක් තුළ අදාළ කටයුතු සිදුකිරීමට නියමිත අතර එම කටයුතුවලට සහය වීම සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයින් හා විද්වතුන් තෝරා ගැනීම සඳහා ද ජනාධිපතිවරයා විසින් කමිටුවට බලය පවරා තිබේ.

මේ අතර පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදුවු විදුලිය බිඳ වැටීම   සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේය.
 
මේ අතර අද(15) දිනයේත් විටින් විට දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය අත්හිටුවීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී එම්.සි.වික්‍රමසේකර මහතා සඳහන් කළේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment