වස විස නැති ගී එකතුවක්‌ දරුවන්ට තෑග්ගක්‌ - විශාරද එඩ්වඩ් ජයකොඩි


"සඳ තරු මල් ගී මුතුවැල්" ළමා ගීත එකතුව 17 දා දොරට වඩී

වස විස නැති දේ දරුවන්ට ලබා දීම ඕනෑම මවකගේ සහ පියෙකුගේ යුතුකමක්‌... වගකීමක්‌... එහෙත් මේ සංකීර්ණ සමාජය තුළ වස විස නැති දේ තෝරා බේරා ගන්නේ කෙසේද?

මුළු මහත් සමාජයම අද දූෂණය වී ඇත. ඒ අතර අපේ සංස්‌කෘතිය සහ කලාවද දැඩි අභියෝගයකට මුහුණ දී සිටී.

ගීතය... සුන්දර බව, රසභාවය මෙන්ම යහපත් පණිවිඩද සමාජය වෙත ගෙන යන වාහකයෙකි. එහෙත් පෙරකී සියල්ල සමඟ ගීතයද අද දූෂ්‍ය වී තිබේ. සෝදාපාළුවට ලක්‌වෙමින් තිබේ.

අම්මා තාත්තා මා ළඟ නැතිනම්

හිතට දුකයි.. හරිම බයයි

අමාවකේ කලුවර වාගෙයි...

අම්මා තාත්තා මා ළඟ ඇතිනම්

හරි සතුටුයි... බය නැතිවෙයි

පසළොස්‌වක සඳ මගෙ වාගෙයි...

සුභාවිත ගීතය පොහොසත් කරන්නට නිරන්තරයෙන් කැපව සිටින විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌ ප්‍රවීණයන් දෙපළ හරවත් ගීත... සමාජය වෙත ගෙන යන්නට ඇප කැපවී වෙහෙස මහන්සි දරන ශිල්පීන් දෙදෙනෙකි. ඔවුන්ගේ ගීත සියල්ල පෙළගස්‌වා... අධ්‍යයනය කිරීමක්‌ කළොත්... ඒ තුළ ළමා ගීයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන බවට තර්කයක්‌ නැත.

කොපර කොපර පිපිඤ්ඤා

පසැර බැලුවොත් දෙසඤ්ඤා

සුළඟක්‌ වී මම එනවා

දුර අහසේ ඇවිදින්නට

කටු අකුළේ මල් ඇහැරී

ඊට උදාහරණ කිහිපයකි. එඩ්වඩ් ජයකොඩිගේ "මාරම්බරී" ඒක පුද්ගල ගීත ප්‍රසංගයේදී ළමා ගී වලට ඉඩක්‌ වෙන්කර ඇත. මාරම්බරී දෙස්‌ විදෙස්‌ ප්‍රසංගවලදී ප්‍රේක්‍ෂකයන් අතර සිටින දරුවන් වේදිකාව මතට නංවා ඔවුන් සමඟින් මේ ළමා ගීත ගයන්නට එඩ්වඩ් චරිතා පුරුද්දක්‌ කරගෙන ඇත. එය දරුවන්ට මහත් ආශ්වාදයකි.

මේ ලිපිය ඇරඹුවේද අප සඳහන් කළ "අම්මා තාත්තා..." ගීතය එඩ්වඩ් අලුතෙන් දරු පරපුර සඳහා දායාද කරන ළමා ගීත එකතුවට ඇතුළත් ගීයකි. "සඳ තරුමල් ගී මුතුවැල්" ළමා ගීත සංයුක්‌ත තැටිය සමඟ ඒ ගී වල ඇතුළත් ගීත පොතක්‌ද එඩ්වඩ්... මෙම 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදක්‌වනු ලබයි. එඩ්වඩ් චරිතා සමඟ මේ ගී ගයන්නෝ සැරිසර ශිල්ප ශාලිකාවේ දූ දරුවෝය.

සුදට සුදයි රැවුල දිගයි

සීය අපේ හරිම හොඳයි

මිහිරි කතා රසට ගොතා

කියන කෙනෙක්‌ තවත් නැතා

දරුවන්ගේ මනසට කාවදින සරල ගී පද මාලාද විශාරද එඩ්වඩ් ජයකොඩිගේය. තනුවද ඔහුගේය. "සඳ තරු මල් ගී මුතුවැල්" ළමා ගීත එකතුව ජාතියේ නැණ පහන දල්වන ඇම්. ඩී. ගුණසේන සමාගමේ නිෂ්පාදනයකි. සංයුක්‌ත ගීත තැටිය සමඟ පිරිනමන ගීත පොතේ ආකර්ෂණීය සිතුවම් නිර්මාණය දරු පරපුරේ ආදරය දිනූ සිබිල් වෙත්තසිංහගෙනි.

"අද අපේ දරුවෝ සෙල්ලම් කරන්නේ කාමරවල... තනි තනිව.... සාමුහිකත්වය, සමගිය දරුවන්ගෙන් ගිලිහිලා. ඉතින් මේ නවීකරණය වූ සමාජයේ ඉන්න දරුවන්ට සාමුහිකත්වය ගැන කියා දෙන්න මට අවශ්‍ය වුණා... යෑයි විශාරද එඩ්වඩ් ජයකොඩි පවසන්නේය..

"මම ගීත රචකයෙක්‌ නොවේ... ඒත් අවුරුදු තිස්‌ පහක හතළිහක ඉඳලා මම ගීත පරිශීලනය කරනවා. ගීතයේ හැඩතල හඳුනනවා. මම ලියූ ළමා ගීත එකතුවක්‌ තිබෙන බව දැනගත් ඇම්. ඩී. ගුණසේන සමාගම මේ ගීත එළිදක්‌වන්න කැමැති වුණා... යෑයිද එඩ්වඩ් කීවේය.

තත්පර හැටක්‌ විනාඩියයි

විනාඩි හැටක්‌ පැයක්‌ හදයි

එක දිනකට පැය විසි හතරයි

සතියකට ඇත්තේ දවස්‌ හතයි...

මේ ගීත එකතුව සමඟ තිළිණ කරන පොතේ චිත්‍ර වගේම ගීතවල වචන මාලාව, පෙරදිග ස්‌වර ප්‍රස්‌ථාර සහ අපරදිග සංගීත ප්‍රස්‌තාරත් ඇතුළත්. මෙය එතෙර සිටින අපේ රටේ දරුවන්ටත් ඉතාම වැදගත්. ඒ වගේම ගීතවලට පසුව වෙනම සංගීත පථයක්‌ (ඵමිසජ එර්ජ) එකක්‌ අඩංගු වෙනවා. කැමැති කෙනෙකුට ගායනා කරන්නත් පුළුවන් විදිහටයි මේ මියුසික්‌ ට්‍රැක්‌ එක යොදා තිබෙන්නේ.

සරුංගලේ මගේ

අහස උසට නැගේ

බලාගෙනයි නගේ

නූල කැඩෙයි වගේ...

පළමු වරට තමයි අපි ගුණසේන සමාගම සමඟ එක්‌වන්නේ. අපි දෙන්නා ගියවර යාලුයි අපි යාලුයි..." ගීත එකතුව දරුවන්ට තිළිණ කළා. ඒ ළමයින්ට වගේම වැඩිටියන්ට ගැයූ ගී... මෙවර ළමයින් ගයන ගීත.. සිබිල් නැන්දාගේ ආකර්ෂණීය චිත්‍රවලින් හැඩවුණ ගීත පොතක්‌... මේක මේ අවුරුදු කාලේ දරුවන් තිළිණ කරන්න හොඳම තෑග්ගක්‌. "සඳ තරු මල් ගී මුතුවැල්" ගීත එකතුව සමඟ ගීත පොතකුත්..." මේක දරුවන්ට වටිනවා... යෑයි විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌ ශිල්පිනිsය ප්‍රකාශ කළාය. අපි දෙමව්පියන්ට, ගුරුවරුන්ට ආරාධනා කරනවා දරුවන් කැටුව 17 වැනිදා සවස 6.30 ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවට එන්න කියලා ප්‍රසංගය සියලු දෙනාට විවෘතයි.

හඳ ලස්‌සනයි, තරු ලස්‌සනයි, මල් ලස්‌සනයි, හඳ වාගේ තරුවාගේ, මල් වාගේ... අපි හැමෝම ලස්‌සනයි...

මමත් පොඩි කාලේ හරි ආසයි සිංදු කියන්න. අපේ අම්මත් හරි ආසයි සිංදුවලට. ඉතින් අපේ අම්මා මට සිංදු කියන්න උගන්වනවා. මේ සිංදු පොත එඩ්වඩ් - චරිතා මට ගෙනැවිත් දුන්නා චිත්‍ර අඳින්න කියලා. එයාලාගේ මේ සිංදුවලට චිත්‍ර අඳින්න මම ආසා කළා. මේ චිත්‍ර අඳිද්දී මමත් ඉබේම ළමා කාලයට ගියා... මට විශාල සතුටක්‌. ගුණසේන සමාගමටත් ස්‌තුති මට මේ අවස්‌ථාව දුන්නට. දරුවන්ගේ ආදරණීය සිබිල් නැන්දා කීවාය.

අහස දිලෙයි හරි කදිමයි

දිගට දිගයි දෙකොන නැමෙයි

රුව කදිමයි හරි පුදුමයි පාට හතයි

දේදුන්නයි... දේදුන්නයි....

(දිවයින පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment