“ඉෂිතා මේ තරම් හැඩ වුණේ ඉරේෂා ලක්මාලීගේ හඬ නිසාද?


“මේ ආදරයයි” නාට්‍ය මාලාව නරඹන බොහෝ දෙනා පසුගිය දිනවල වැඩිපුර කථා කළේ එහි “ ඉෂිතා” ගැනයි. ඉෂිතා ලෙස “ මේ ආදරයයි” හැඩ කරන දිව්‍යංකා ත්‍රීපති පසුගිය දා ලංකාවට පැමිණීම ඒ විදිහට වැඩි දෙනා කතා කිරීමට තවත් හේතුවක් වුණා. කොයි හැටි වෙතත්, ඉෂිතා චරිතය එතරම්ම, ශ්‍රි ලාංකීය රූපවාහිනී ප්‍රේක්‍ෂකයින් අතරට සමීප වූයේ “ ඉරේෂා ලක්මාලි” නිසා යැයි ඔබ සිතුවාද? ඉෂිතා හට සිංහලෙන් හඬ කැවීම් කරන්නේ ඇයයි. එනිසා ඉෂිතා චරිතය මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්‍ෂකයින් අතරට වඩාත් සමීප වූ බව කියන්න පුළුවනි. එනිසාම ඉෂිතාට ජීවය කවන ඉරේෂා ලක්මාලි අපි සැඳැල්ල කැඳවීමු.

■ ඉරේෂා ඔබ ගැන විස්තරයක් කළොත්.
කලා ක්‍ෂේත්‍රයේ මගේ ගමන පටන් ගත්තේ ගුවන් විදුලියේ ළමා පිටියෙන්. නැසීගිය මහින්ද අල්ගම මහතා තමයි එහිදී අපේ ගුරුවරයා වුණේ. පාසල් අධ්‍යාපනය ලැබුවේ මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයෙන්. මගේ එකම අරමුණ වුණේ වෛද්‍යවරියක වීමටයි. ඒ නිසා උසස් පෙළට තෝරා ගත්තෙත් විද්‍යා විෂයයන්. එම විෂයට එතරම්ම ආසා කළා. ළමා පිටියේ කටයුතුවලට සම්බන්ධ වුණේ 8 වසරේ සිටියදීයි. දහම් පාසලේදී සහ පාසලේ දී කලා අංශයේ කටයුතු වලට වගේම කව් ගී ගායන අංශ වලටත් නිරන්තරයෙන් දායක වුණා. වෛද්‍යවරියක වීමේ හීනය ලකුණු කීපයක් අඩු වීමෙන් බොඳවී ගියත්, කලා ක්‍ෂේත්‍රය වෙත රන් දොර  විවර වුණා. මම හිතන්නේ මගේ ඉරණම ලියැවී තිබෙන්නේ කලා ක්‍ෂේත්‍රයට වෙන්න ඇති

■ පවුලේ අය ගැන කිව්වොත්?
පවුලේ අම්මායි තාත්තයි අයියයි, මායි, මල්ලියි,  නංගියි. තාත්තා ගිය වසරේ අපිට අහිමි වුණා. මල්ලි පැවිදි දිවියට ඇතුළත් වුණා.

■ සරසවි සිහිනය බොඳ වු පසු කොහොමද ජීවිතය පටන් ගත්තේ.?
ඒ අතරේ ගුවන් විදුලියේ පුංචි පුංචි වැඩ සටහන්වලට දායක වුණා. එහෙම සිටිය දී 2004 දී විතර සහන නිවේදිකාවක ලෙස පිවිසීමේ වරම් ලැබුණා. ළමා නිවේදිකාවක ලෙස තමයි මුලින්ම පටන් ගත්තේ. පසුව සහන නිවේදිකාවක වූ පසු සිටි එෆ්.එම් සහ වෙළඳ සේවයෙත් කටයුතු කරන්න ලැබුණා. ප්‍රවෘත්ති නාලිකාවකටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ අතරවාරයේ දී රූපවාහිනියේ හඬ කැවීම් ශිල්පීන් තේරූ අවස්ථාවට මුහුණ දුන්නා. එයින් සමත් වුණා. නමුත් අවස්ථා ලැබුණේ නැහැ. ඔන්න ඔය විදියට කාලය ගත වෙමින් සිටිය දී, සිරසේ මහගෙදර කතාවේ හඬ කැවීම් සඳහා ශිල්පීන් තේරූ අවස්ථාවට සහභාගී වුණා. එයින් සමත්ව මහගෙදර තුල්සිගේ දියණිය වූ ශෝභා වෙනුවෙන් හඬ කැවීම් කරන්න ලැබුණා. මගේ හඬ කැවීම් ගමන පටන් ගත්තේ ඒ විදියටයි.

■ ඒ විදියට පටන් ගත්ත ගමනේදී ඔබ ගැන වැඩිපුර කතා කරන්න පටන් ගත්තේ?
ඒ වන විට ජාතික රූපවාහිනියෙ නිදහස් නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. උඩරට මැණිකේ, නුග සෙවණ, ආදරණීය යෞවනය, රිවිදින අරුණැල්ල ඇතුළු වැඩ සටහන්වලට නිවේදනයෙන් එක්වීමට අවකාශය ලැබුණා. ඒ අතරේ සිරසේ ඩබිං (හඬ කැවීම් ) වලටත් ගියා. 

■ ‘ඉෂිතා’ හඬ කැවීම් වලට ගිය මුල්ම වතාව මතකද? 
මුලින්ම මට තිබුණේ ඉෂිතාට ගොඩාක් කේන්ති ගිහින් තිබුණු අවස්ථාවක බනින අවස්ථාවක්. එය රිහසල් එකක් ලෙස කළේ. පසුව චරිතයට මාව තෝරා ගත්තා. මෙහි දෙබස් කැවීම් අවස්ථාවලට අපි මුහුණ දෙන්නේ තනි තනිවමයි. ඉතින් විෂුවල්ස් (රූප රාමු) සහ අදහසට අනුව නිෂ්පාදක මඩුල්ල අපට සියල්ල ගැන වටහා දෙනවා.

 ■ රමන්ට හඬ කවන්නේ? 
රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු.

■ ඉෂිතා සහ ඔබ ගැන සැසඳුවොත්?
මම හරිම සරලයි. වැඩිය සද්ද බද්ද නැති කෙනෙක්. ජනප්‍රිය වීමේ පිපාසයක් මට නැහැ. ඉෂිතා තරමටම නොවූවත්, මටත් ඉවසීම තරමක් දුරට තියෙනවා. ඉෂිතා හා සැසඳුවොත් එයා පවුලට හරිම ලැදියි. මාත් එහෙමයි.

■ සැබෑ ජීවිතයේ “ රමන්” කෙනෙක් හමුවෙලාද සිටින්නේ? සැබෑ ජීවිතයේ “ මේ ආදරය” කොහොමද?
මම විවාහකයි. සැමියා හිරු නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ සේවය කරන්නේ. මලින්ද තිරිමාන්න එයාගේ නමයි. අපි දෙන්නට දියණියක් සිටිනවා. ඇයගේ නම මිනුලි. අපේ ආදරය හොඳයි. මලින්ද සහ මම සෑහෙන කාලයක් මිතුරෝ වුණා. 2014 දී එය ආදරයක් බවට හැර වුණා. ආදරයේ දී පොඩි පොඩි දේ සිද්ධ වෙනවා තමයි. අපි දෙන්නත් සමහර අවස්ථාවල දී රන්ඩු වෙවි යාළු වෙනවා. දෙන්නට දෙන්නා තේරුම් ගන්නවා. පෙරටත් වඩා හොඳ බැඳීමක් ඉන් පස්සේ ඇති වෙන්නේ. 


(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment