නව ව්‍යවස්ථා සංශෝධන වගකීමෙන් 90%ක් අවසන් - TNA

නව ව්‍යවස්ථා සංශෝධන වගකීමෙන් 90%ක් අවසන් - TNA

රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90%ක් පමණ මේ වන විට අවසන් වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (16) වව්නියාව ද්‍රවිඩ එක්සත් පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවති ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීම අමතමිනි.

දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මගපෙන්වීමට පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටු 21 සහ අනු කමිටු 07ද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් හමාර කොට ඇති බව පැවසූ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරි මාස 02ක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවද සදහන් කළේය.

කිසිදු කමිටුවක් මේ අවස්ථාවේදී ගන්නා ලද තීරණ එළි නොදක්වන්නේ රටේ දේශපාලන පක්ෂ එම කරුණු තම දේශපාලන වාසි වෙනුවෙන් යොදාගෙන රට තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට උත්සහා ගන්නා නිසා යැයිද මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේය.

තවදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම, රටතුළ බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන බවයි.

මේ සම්බන්ධයෙන් රජය හා කමිටු ද කිසිවක් නොකරන බවට ජනතාව නඟන චෝදනා පදනම් විරහිත බව පැවසූ ඔහු දෙමළ ජාතික සන්ධානයට ඉටු කළ හැකි හා ඉටු කළ යුතු සියළු යුතුකම් හා වගකීම් මේ වන විට ඉටු කොට අවසන්ව ඇතැයි අවධාරණය කළේය.

ඡායාරූප පහතින්.

දිනසේන රතුගමගේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment