ඇමති දෙපලක් කොළඹ කුණු අදී 

ඇමති දෙපලක් කොළඹ කුණු අදී 

ඉදිරියේදී සියළුම අමාත්‍යාංශයත්, පළාත් සභාවත් එකතු වී කසල කළමණාකරණය පිළිබඳව විධිමත් කි‍්‍රයාමාර්ගයක් යටතේ කටයුතු කරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ලෝක නගර දිනයට සමගාමීව, නිකසල නුවර නගර පවිත‍්‍රකරන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අද අපි මේ කි‍්‍රයාවලිය ආරම්භ කරන්නේ, මේ රටේ පුරවැසියන්ට විශේෂයෙන්ම මේ කසල කළමණාකරණය පිළිබඳව විධිමත් කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට මුල පිරිමක් වශයෙන්. මේ සඳහා පළාත් පාලන අමාත්‍යාංශයෙන් දැනටමත් ප‍්‍රකාශ කරලා තියෙනවා ලබන අගහරුවාදා ඉඳන් කසල වෙන්කරලා භාර දෙන්නේ නැත්නම් නගර සභා වලට ඒ කසල භාර ගැනීමට ඒ නගර සභා කටයුතු කරන්නේ නැහැ කියලා. අපි දන්නවා රට පුරාම විවිධ ආකාරයේ උද්ඝෝෂණ පැවැත්වෙනවා අපේ ගමට කොළඹ කුණු එපා එහෙම නැත්නම් මේ කසල ගොඩවල් ඉවත්කරන්න කියලා රජයට බල කරන්න. ඒ වගේ සංවිධානය වෙලා පරිසරය රැකීමට කි‍්‍රයා කිරීම ඉතා හොඳයි. නමුත් වඩාත්ම වැදගත් දේ අපේ  වගකීම යුතුකම අපි පෞද්ගලිකව අපේ පරිසරයට ඉටු කරනවද කියන එක. අන්න ඒ නිසා පොදුවේ උද්ඝෝෂණ පවත්වනවා වගේම අපේ නිවසේ එකතුවන කැළිකසල පිළිබඳව විධිමත් පියවරක් අපි ගන්න ඕනේ. නැත්නම් මේ මීතොටමුල්ල, කරදියාන, ගොහාගොඩ වගේ ස්ථානවල මහා පරිමානයෙන් කසල කඳු ගොඩවෙලා ඒ අවට ප‍්‍රදේශවල මිනිස්සුන්ගේ ජීවිත, පරිසරය, ජල මූලාශ‍්‍ර මේ සියල්ලටම විශාල අනතුරක් තර්ජනයක් ඉදිරිපත්වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකට ස්වේච්ඡාවෙන් සැම දෙනාටම ඉදිරිපත්වෙන ලෙස ප‍්‍රකාශ කරනවා.

ඒ වගේම ඉදිරි කාලයේදදී අපි නිවැරදි කි‍්‍රයාමාර්ගයක් මගින් මේ සියළුම අමාත්‍යාංශයත්, පළාත් සභාවත් එකතු වෙලා මේ කසල කළමණාකරණය පිළිබඳව විධිමත් කි‍්‍රයාමාර්ගයක් යටතේ කටයුතු  කරන බවත් ප‍්‍රකාශ කරමින් පුරවැසි අපේ යුතුකම, ගෙහිමි අපේ යුතුකම අපි පළමුව ඉටු කරමු. ඉටුකරලා මේ කසල කළමණාකරණයට දායක වෙලා ඒ ඒ පළාත් සභා ආයතනවලට, විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව ඇතුළු නගර සභාවලට අපේ කසල කළමණාකරනයට අවශ්‍ය කරන ශක්තිය, පුරවැසි ශක්තිය අපි ලබාදෙමු.’ යයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

මෙම අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment