පොළොන්නරුවේ ලොකු වැඩකට මෛත්‍රී - චීනය සමග ගිවිසුමක් ගහයි

පොළොන්නරුවේ ලොකු වැඩකට මෛත්‍රී - චීනය සමග ගිවිසුමක් ගහයි

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලට අදාළ ගිවිසුමට ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ අත්සන් තැබිණි.

එහි ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරු වන චීනයේ CAME ඉන්ජිනියර් සමාගමේ සභාපතිනි Luo Yan මහත්මිය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ගිවිසුමට අත්සන් තැබීය.

“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ලබන ජනවාරි මාසයේ දී මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නියමිත අතර 2020 දී එහි වැඩ අවසන් කොට ජනතා අයිතියට පැවරීමට අපේක්ෂිතය.

චීන එක්ෂීම් බැංකුවේ සියයට සීයයක ණය ආධාර යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම රුපියල් මිලියන 6969 කි.

1982 වර්ෂයේ මාදුරුඔය වම් ඉවුර සංවර්ධනය කෙරුණු අතර, එවකට පැවති ත‍්‍රස්තවාදී තර්ජන හේතුවෙන් දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු ඇණහිටිණි.

දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සමඟ අලූතින් හෙක්ටයාර් 39,000 ක් සංවර්ධනය කෙරෙන අතර සොරොව්ව ඝන මීටර් දෙකකින් උස් කෙරේ.

ඒ අනුව අතිරේක ජලය ඝන මීටර් 229 ක ධාරිතාවයකින් ඉහළ යනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සමග ප‍්‍රධාන ඇළ කි.මි 83 ක් සංවර්ධනය කෙරෙන අතර බෙදුම් ඇළ මාර්ග කි.මි 900 ක් සංවර්ධනය කෙරේ.

ඊට සමගාමීව ප‍්‍රදේශයේ මහා මාර්ග පද්ධතිය ද සංවර්ධනයට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි පවුල් 12,000 කට ඝෘජු ප‍්‍රතිලාභ සැලසේ.

මෙම ව්‍යාපෘතිය සමඟ ප‍්‍රදේශයේ උක් කර්මාන්ත ශාලාවක් ද ඉදිකෙරෙන අතර ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට රජය අපේක්ෂා කරයි.

තෝප්පිගල, නැගෙනහිර මුහුදු තීරයට සමීප වීම වැනි කරුණු මත මෙම ව්‍යාපෘතිය අශි‍්‍රතව පාරිසරික සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment