25000 දඩය ගෙවන්න බැරිනම් හිරේ?

25000 දඩය ගෙවන්න බැරිනම් හිරේ?

මාර්ග නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ බරපතළ වැරදි හතක් සඳහා නියම කෙරෙන රුපියල් 25,000 ක අවම දඩ මුදල ගෙවීමට නොහැකි වුවහොත් එම රියදුරුට අධිකරණයේ අභිමතය පරිදි වැඩි දඩ මුදලක් හෝ සිර දඬුවමක් නියම කළ හැකි බව නීතිඥ උදය රෝහාන් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ දඩ මුදල් වැඩි කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව පෙන්වා දී තිබේ.

දඩ මුදල් වැඩි කිරීමට රජය තීරණය කොට ඇත්තේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට රථයක් ධාවනය කිරීමට ඉඩ ලබාදීම, වම් පසින් ඉස්සර කිරීම, දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය කිරීම, බීමත්ව රිය ධාවනය කිරීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම සහ රක්‍ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් වූ වැරදි සඳහා බව මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී හෙළි කොට තිබිණි.

මෙම දඩ මුදල් ගෙවීමට රියදුරුට නොහැකි වුවහොත් සිදුවිය හැකි තත්ත්වය කුමක්දැයි නීතිඥ උදය රෝහාන් ද සිල්වා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් ක‍ළේ, මෙම වැරදි සඳහා පැනවිය යුතු අවම දඩ මුදල රුපියල් 25,000 ක් කිරීම තවමත් රජයේ යෝජනාවක් පමණක් බවයි. 

මෙම යෝජනාව ස්ථිර වුවහොත් එම දඩ මුදල් ගෙවිය යුතු යැයිද එම දඩ මුදල නොගෙවුවහොත් දඩ මුදල් නොගෙවූ පුද්ගලයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමක් පොලිසිය විසින් සිදුකරනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය. 

එවිට මහේස්ත්‍රාත්වරයාගේ නියමය අනුව රුපියල් 25,000 ට වඩා වැඩි දඩයක් නියම කෙරෙනු ඇති බවත් එම දඩ මුදල නොගෙවුවහොත් අධිකරණයේ අභිමතය පරිදි සිර දඬුවමක් නියම කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

 

(අද)

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment