තිඹිරි ගස් නැති තිඹිරිගස්යායට ඔටාරාගෙන් නැවත තිඹිරි ගස්


තිඹිරි ගස් නැති තිඹිරිගස්යායට  
ඔටාරාගෙන් නැවත තිඹිරි ගස්


කොළඹ තිඹිරිගස්යාය මාර්ගයේ නැවතත් 'තිඹිරි ගස්' රෝපණය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව සමඟ එක්ව ඔටාරා පදනම විසින් ආරම්භ කර තිබේ.
මෙම ප්‍රදේශයට තිඹිරිගස්යාය යන නම ලැබී තිබෙන්නේ එකල මෙහි 'තිඹිරි ගස්' තිබූ නිසා යැයි විශ්වාස කරන අතර
ඔටාරා පදනමේ සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගියදා 'තිඹිරි පැළ' ( malabar ebony) තුනක් සිටුවමින් මෙම නව වැඩසටහන දියත් කරන ලදී.



"නාරාහේන්පිට සිට හැව්ලොක් ටවුම දෙසට වන මාර්ගය දිගේ එකල තිඹිරිගස් තිබූ නිසා මෙම මාර්ගයට තිඹිරිගස්යාය යන නම ලැබී ඇතැයි විශ්වාස කරනවා" යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් ඔටාරා පදනම සඳහන් කරයි. "කෙසේ වෙතත් අද මෙම මාර්ගය දෙපස එක තිඹිරි ගසක්වත් දකින්නට ලැබෙන්නේ නෑ. මේ නිසා කොළඹ මහ නගර සභාව සමඟ එක්වී ඔටාරා පදනම මෙම ප්‍රදේශයේ තිබූ ඉපැරැණි සිරිය නැවතත් ලබාදීම වෙනුවෙන් හැකි තරම් තිඹිරි පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා."

කොළඹ පරිසර හිතකාමී නගරයක් ලෙස පවත්වාගෙන යෑමට කොළඹ මහ නගර සභාව සිදුකරන වැඩසටහන් වෙනුවෙන් ඔටාරා පදනම සහයෝගය ලබාදෙන අතර මහ නගර සභාවේ සේවකයන් සඳහා පසුගියදා ඔටාරා පදනම විසින් නිල ඇඳුම් ලබාදෙන ලදී. මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගි වූ නගර සභා සේවකයන් මෙම නිල ඇඳුම් හැඳ සිටිනු දක්නට ලැබිණි.

කොළඹ නගරයේ තිබෙන ගස් ප්‍රමාණය වර්ධනය කිරීම සඳහා කොළඹ අනිකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි ඇහැළ, මෝදිල්ල, කරඳ, කොහොඹ, ටකෝමරියා සහ කහ - මාර වැනි ශ්‍රී ලංකාවට ආවේණික ගස් 184ක් වගා කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාව සමඟ ඒකාබද්ධ වී ඔටාරා පදනම මේ වන විට දියත් කර තිබේ.




Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment