පනත නැතත් ආණ්ඩුවේ 'සුපිරි ඇමති' වැඩ  

පනත නැතත් ආණ්ඩුවේ 'සුපිරි ඇමති' වැඩ  

ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට කොටස් වෙළෙඳපල පත්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනුවක් අත්හිටුවීම බව හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ අද (27)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

කොළඹ කොටස් වෙළෙඳපල මේවන විට වැටුප් ගෙවා ගත ‍නොහැකිව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවත් ගනුදෙනුකාර නියෝජිතයින් ඈත එපිට ප්‍රදේශවල තම කාර්යාල වසාදමමින් සිටින බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

සෙලාන් බැංකුවේ කොටස්වලින් 7.5%ක් ලංකා බැංකුවට අයිතිව පැවති බවත් ලංකා බැංකුව විසින් මෙම කොටස් බිලියන 1.1ට අලෙවි කොට ගනුදෙනුව නිමා කළ බවත් එහෙත් දින 3ක් ඇතුළත ගනුදෙනුව පියවීමට තිබියදී අග්‍රාමාත්‍යවරයා විසින් සුපිරි බලයක් යොදාගෙන මෙම ගනුදෙනුව අවලංගු කිරීමට පියවර ගත් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයාට එලෙස මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනු හදිසියේ අවලංගු කිරීමට හැකියාවක් නැති බවත් ලෝකයේ කිසිදු රටක මේ ආකාරයෙන් කොටස් වෙළෙඳපලට දේශපාලනඥයින් ඇඟිලි නොගසන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ ආකාරයට සුපිරි ඇමති තනතුර නිර්මාණය කරන පනත තවමත් සම්මතවී නොමැති වුවත්, සුපිරි ඇමතිගේ ක්‍රියාකාරිත්වයක් දක්නට ඇති බවත්,සෙලාන් බැංකුවේ කොටස් මිලදී ගනු ලැබුවේ ජපන් ආයෝජකයෙකු බැවින් කොටස් වෙළඳපලේ බලධාරීන් විසින් මෙම ගනුදෙනුව හදිසියේ අත්හිටවූයේ මන්ද යන්න පිළිබඳ ලංකාවට මෙන්ම විදේශයන්ටද කරුණු දැක්විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

 එහෙත් මෙම ප්‍රවෘත්ති ජාත්‍යන්තරයට යන විට ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කිරීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවන බවත්, මෙරට ආයෝජනය කර ඇති මුදල් පවා වහාම ඉවත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment