උදරයේ සැත්කමක් වැරදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය ඉරේෂා සඳමාලිගේ‍ මරණය ගැන පරීක්ෂණ


උදරයේ සැත්කමක් වැරදී
නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය
35 හැවිරිදි ඉරේෂා සඳමාලිගේ 
මරණය ගැන පරීක්ෂණ

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත්ව ශල්‍යකර්මයකට භාජනය කළ  35 හැවිරිදි අලුත විවාහවූ කාන්තාවකගේ අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ඇගේ ඥාතීන් සහ සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලීම් කර තිබේ.
රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවට ඔවුන් චෝදනා කර තිබේ.
දෙල්ගොඩ අහුගම්මන පදිංචිවී සිටි ඉරේෂා සඳමාලි ජීවන්දර නමැති මෙම කාන්තාව විවාහ වී අවුරුද්දක් ගතවූ පසුව උදරයේ පහළ
රිදුම් ඇතිවී රාගම පුද්ගලික රෝහලකින් මුලින් ප්‍රතිකාර ලබා ඇති අතර පසුව අදාළ වෛද්‍යවරයා විදෙස්ගතවීම නිසා මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගන්නට යොමුව තිබේ. පෙර වෛද්‍යවරයාගේ සියලුම වාර්තාද සැලකිල්ලට ගෙන ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව එහි වෛද්‍යවරුන් පවසා ඇත්තේ


කාන්තාවගේ ගර්භාෂයේ ගැටිති කිහිපයක් හටගෙන ඇති බවයි. මෙය ‘පාස්ටින්‘ නමැති සුළු සැත්කමකින් ඉවත් කර ඉක්මණින් සුව කරගත හැකි බව පෙන්වාදී ඇති වෛද්‍යවරුන් කාන්තාවගේ සැමියාට එම සැත්කමට යොමු වන්නට පෙළැඹවීම් කර තිබේ.
මෙම අසනීපය හැර කිසිදු අසනීපයක් නොතිබුණ කාන්තාව සැත්කමට නොපැකිළව ඉදිරිපත්ව ඇති අතර ඇය අවසන් මොහොතේ පවා විහිළු තහළු කරමින් එයට සූදානම්ව තිබේ.

සැත්කම ගැන ඇගේ සැමියා මෙසේ කියයි.

‘වෛද්‍යවරුන් මේක සුළු දෙයක් කියලයි කිව්වේ.එයත් ඉතා හොඳින් හිටියේ. 22 වෙනිදා උදේ ඔපරේෂන් තියටර් එකට ගත්තා. පැය 2 කට විතර පස්සේ නර්ස්ලා ඇවිත් කිව්වා එයාව දැඩි සත්කාර ඒකකයට ගත්තා කියලා. පසුව ඩොක්ටර් ඇවිත් කිව්වා සැත්කමේ බාගයක් ඉවර වෙද්දි එයාගේ හෘද ස්පන්දනයයි රුධිර පීඩනයයි වැඩිවුණ නිසා සැත්කම නතර කරලා අයිසීයූ දැම්මා කියලා.කොහොමහරි එදා රෑ 12.30 වෙනකොට අයිසීයූ එකේ හිටිය දොස්තර කිව්ව දැන් නම් එයා හොඳ තත්වයට ඇවිත් කියලා.
ඒත් පාන්දර 2 ට දොස්තර ඇවිත් කියනවා ‘බෑඩ් නිවුස්..අපිට එයාව බේරගන්න බැරිවුණා..‘ කියල. දෙයියනේ මගේ නෝනා ඇතුළු කළේ බඩේ වේදනාවකට. සුළු සැත්කමක් කරනව කියලයි කිව්වේ. අන්තිමට මිනිය තමයි භාර දුන්නේ‘

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර මරණය සිදුවූ ආකාරය තවමත් පරීක්ෂණ මට්ටමින් පවතී.
 දේහය පිළිබඳ අවසන් කටයුතු අද 26 වනදා සිදු කිරීමට නියමිතය.

ජීවිතක්ෂයට පත්වූ කාන්තාව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ප‍්‍රධාන කිරීමේ ආයතනයේ ශීක්ෂණ රෝහල ලෙසද භාවිතා කරන නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප‍්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය බවට සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරන අතර මීට පෙර 2014 වර්ෂයේදී ඩෙංගු රෝගය වැළදී මිය ගිය කවීෂ මධුෂාන් දරුවාගේ මරණයද ඔවුන් මතක් කර දෙයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධාන පරිපාලක වෛද්‍ය බිමන්ත ගුණසේකර කියා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුවන බවත් ලබන සතියේ මේ ගැන එළිදකින පරීක්ෂණ වාර්තාව අනුව ලැබෙන තීරණයට ගරුකරන බවත්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment