පොලිස්පතිගේ ඇමතුම ගැන ජනපතිට නිර්දේශ

පොලිස්පතිගේ ඇමතුම ගැන ජනපතිට නිර්දේශ

පොලිස්පතිවරයා 'සර්' නමින් ගත් ඇමතුම පිළිබඳ පොලිස්පතිවරයාට එරෙහිව පියවර ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

 

පසුගිය සිකුරාදා පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ව්‍යවස්ථා සභාව එම තීරණයට එළඹ තිබෙන බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර දූෂණ චෝදනා ලබා සිටින 'නිලමේ' නමැති සැකකරුවකු අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ජාතික පොලිස් කොමිසම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මේ සාකච්ඡාවලින් අනතුරුව පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සහ පොලිස්පතිවරයාට එල්ල වන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ස්ථාවරය ඉතා කඩිනමින්ම ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව ක්‍රියාකිරීමට පොලිස්පතිවරයාට පූර්ණ බලතල තිබෙන බව කොමිසමේ ඇතැම් සාමාජිකයන්ගේ ස්ථාවරය වී තිබේ.

පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවක අදහස් දක්වමින් සිටින අතරවාරයේ 'සර්' නමින් හැඳින්වූ පුද්ගලයකුගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දුන් පොලිස්පතිවරයා 'නිලමේ' නම් පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා බව සහතික කළේය.

පොලිස්පතිවරයා 'සර්' නමින් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකට විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

පොලිස්පතිවරයා 'නිලමේගේ කේස් එක' නමින් හැඳින්වූයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර පිළිබඳව බව දූෂණ විරෝධී පෙරමුණ පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය. 

 

රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ, වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණ ප්‍රමාදවීම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂ දෙක අතර ගැටුමකට තුඩු දී තිබේ.

 

(බීබීසී සංදේශය)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment