මීයන් දහස් ගණනක් වැඳුම් පිදුම් ලබන කර්ණි මාතා දේවාලය (Photos)

අපේ අසල්වැසි රට වන ඉන්දියාව කියන්නේ හරිම අරුම පුදුම රටක්. විවිධත්වයෙන් බහුල එහි විවිධාකාර වූ පුවත් නිරන්තරයෙන් මැවෙනවා. අපිට සිතා ගන්නවත් බැරි තරම් විවිධ ආගම් හා ඇදහිලි විශ්වාස පවතින ඉන්දියාවේ තවත් එක් දුර්ලභ ගනයේ ආගමික ස්ථානයක් ගැන කියන්නයි අද මෙම පිටුව වෙන් වන්නේ.

ඒ තමයි මීයන් සඳහා වෙන්වූ කර්ණි මාතා දේවාලය. ඉන්දියාවේ රාජස්ථානයේ පිහිටා ඇති මෙම දේවාලයේ මීයන් 20,000ක් පමණ ජීවත් වන අතර මෙහි පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාමානයට හා සැලකිලි වලට ඔවුන් ලක්වනවා.

මෙසේ මීයන් ශුද්ධවූ ලෙස සැලකීමට හේතු ලෙස පුරාවෘත්ත දෙකක් ගෙනහැර දැක්විය හැකියි. ඉන් එකක විස්තරය මෙසේයි. කර්ණි මාතාවගේ සුළු පුත්‍රයකු වූ ලක්ෂ්මන්, කපිල් සරෝවර් හි පොකුණක දිය බීමට ගොස් එහි ගිලී මියගොස් තිබෙනවා. කර්ණි මාතාව යම රජතුමාව කැඳවා ලක්ෂ්මන් හට නැවතත් ජීවය ලබා දෙන ලෙස පවසා තිබෙනවා.

යම රජතුමන් මුලින් අකැමැත්තක් පෙන්වා පසුව ලක්ෂ්මන් පමණක් නොව කර්ණි මාතාවගේ සියලුම පිරිමි දරුවන් මියගිය විට මීයන් ලෙස ඉපදීමට නැවත ඔවුන්ට ජීවය දී තිබෙනවා.

මේ හා සම්බන්ධ අනෙක් පුරාවෘත්තය මෙයයි.දුර ඈත අතීතයේ එක් දිනක 20,000කින් සමන්විත ශක්තිමත් සොල්දාදුවන් කණ්ඩායමක් ඔවුන්ගේ සටනට නොගොස් දේශ්නෝක් ප්‍රදේශයට පලා යමින් සිට තිබෙනවා.

මෙසේ සටන අතහැර දමා පැමිණීමට එරෙහිව ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දීම වෙනුවට කර්ණි මාතාව මොවුන්ට අභය දානය දී මොවුන් මීයන් බවට පත් කර තිබෙනවා. එම මීයන් සඳහා මෙම දේවාලය කර්ණි මාතාව විසින් ලබා දී ඇති අතර එතැන් පටන් එම මීයන් මෙම දේවාලයේ කර්ණි මාතාවට සේවය කරන බව පැවසෙනවා.

මෙතරම් විශාල මීයන් සංඛ්‍යාවක් මෙහි වාසය කළත් මොවුන් නිසා තවමත් කිසිඳු වසංගතයක් හෝ රෝග තත්වයක් ඇතිවී නොමැති බව පැවසෙනවා. මීයන් හට උපරිම නිදහසේ සැරිසැරීමට ඉඩ ඇති අතර කිරි හා ධාන්‍ය මීයන්ගේ පරිභෝජනයට තබා තිබෙන්නේ විශාල බඳුන් වලයි. දේවාලය නැරඹීමට පැමිණෙන විදේශිකයන් මීයන්ට බියෙන් ප්‍රවේශමෙන් මෙය තුළ ගමන් කරන විට ඉන්දියානු දරුවන් මීයන් සමඟ ක්‍රීඩා කරමින් ඔවුන්ට ආහාර දෙමින් සිටිනවා දැකිය හැකියි.

මෙහි පැමිණෙන බොහෝදෙනා මීයන් වෙත පැණි රස කෑම වැනි දෑ ආහාරයට දෙනු ලබන අතර මීයන් විසින් දත ගැසූ හෝ බාගෙට අනුභව කරන ලද ආහාර ශුද්ධ වූ ආහාර ලෙස සලකා බැතිමතුන් විසින් ආහාරයට ගන්නා බව පැවසුවොත් ඔබ මවිත වේවි.

මෙම දේවාලය තුළදී කළු පැහැති මීයන් හා දුඹුරු පැහැති මීයන් ඉතාමත් සුලබව දැකිය හැකි අතර බැතිමතුන්ගේ එකම ආශාව වන්නේ සුදු පැහැති මීයෙකු දැකබලා ගැනීමයි. සුදු පැහැති මීයන් අතිශයෙන්ම දුර්ලභ වන අතර එවැනි සතකු දැකීම වාසනාවන්ත ලකුණක් සේ ඔවුහු සලකති.

ඊට හේතුව සුදු මීයකු දුටු පුද්ගලයන්ට දේව ආශිර්වාදය හිමිවන බවට බැතිමතුන් තුළ ඇති විශ්වාසයයි. තවත් සමහරකු විශ්වාස කරන්නේ කර්ණි මාතාව හා ඇගේ පුතුන් මෙලෙස සුදු මීයන් ලෙස ඉපදී දේවාලය තුළ වාසය කරන බවයි.

වසර 1900දී පමණ ගංගා සිංග් මහරාජා විසින් ඉදිකර ඇති මෙම හින්දු දේවාලය තුළ රිදියෙන් නිමකළ දොරවල් විශාල ප්‍රමාණයක් දක්නටලැබෙන අතර මීට අමතරව මීයන් වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත්වීම වැළැක්වීමට යොදා තිබෙන දැල් හා යකඩ ගේට්ටු දකින්නට ලැබෙනවා.

මීයකු පෑගී මිය යාම බරපතළ පාපයක් ලෙස මෙහි පූජකයන් සලකන අතර යමකු අතින් එසේ වරදක් සිදුවූ විට එම පාපයෙන් ගැලවීම සඳහා එම පුද්ගලයා විසින් රනින් හෝ රිදියෙන් නිමකරන ලද මීයකුගේ පිළිමයක් දේවාලයට ලබා දිය යුතුයි.

මෙම දේවාලයේ නවරාත්‍රී උත්සවය පැවැත්වෙන සමයේ දහස් ගණන් බැතිමත්හු මෙම දේවාලය වෙත පාවහන් නොමැතිව ඉතා දුර පෙදෙස්වල සිට වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බව සඳහන් වනවා.







 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment