වෛද්‍ය සභාවට එරෙහිව රෝගියෙකු මානවහිමිකම් යයි

වෛද්‍ය සභාවට එරෙහිව රෝගියෙකු මානවහිමිකම් යයි

මාලඹේ සයිටම් ආයතනය නීති විරෝධී වෛද්‍ය උපාධි විකුණන ආයතනයක් බවත් එහි වෛද්‍ය උපාධිය පිළිනොගන්නා බවත් කියූ වෛද්‍ය සභාව සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියා පදිංචි කිරීමට සූදානම් වන බව පවසමින් වෛද්‍ය සභාවට එරෙහිව හදවත් රෝගියෙකු  අද (13) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කෙළේය.

වසර 08 ක් පුරාවට සයිටම් ආයතනය පිළිනොගත්තා කියූ වෛද්‍ය සභාව රජයේ බලපෑම් මත සයිටම් සිසුන් ලියාපදිංචි කිරීමට සූදානම් වෙනවාදැයි සැකයක් මතුවන බව වෛද්‍ය සභාවට ‍එරෙහිව පැමිණිල්ල ගොනු කළ හදවත් රෝගී ඊ.ඒ.ඩී. ගුණතිලක මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව පෞද්ගලික වෛද්‍ය විරෝධී මධ්‍යස්ථානය විසින් ද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සායනික පුහුණුව ප්‍රමාණවත් ලෙස ලබා නොමැති පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමේ සූදානමක් පවතින බව ඔවුන් එම පැමිණිල්ලෙන් දක්වා ඇත.

එසේ වුවහොත් එය රෝගී ජනතාවගේ මානව හිමිකම් කඩ වීමක් වන බැවින් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කළ බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ සඳහන් කළේය.

මේ අතර ගුරු සංගම් කිහිපයක් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවමින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment