අයි.පී.එල්. මිල අධික ක්‍රීඩකයෝ තරගාවලියේදී අනාථ වෙති


ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරග 45ක් අවසන් වන විට තරග 11කට සහභාගි වී තරග 9ක් ජය ලබා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙවර තරගාවලියේදී බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසාර්ථක
වීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ තරග 7කදී කඩුලු 8ක් දවා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගිය සෙනසුරාදා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී තම 150 වැනි අයි.පී.එල්. කඩුල්ල දවා ගැනීමට
සමත් වූ ලොව පළමු පන්දු යවන්නා බවට පත් වෙමින් එම තරගයේදී ලකුණු 5කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුවත් සමස්ත තරගාවලිය දෙස බැලූ කල ඔහු එක් පන්දුවාරයකට ලකුණු 9.38ක දළ වේගයකින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා දී තිබේ. එය මෙවර අයි.පී.එල්. තරගාවලියේ ලකුණු ලබා දීම අතින් තුන්වන වැඩිම වේගයයි.
පන්දු යැවීම අතින් ගත් කල ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් වන ශේන් වොට්සන්, ජෙම්ස් ෆොක්නර්, කගිසො රබාඩා, සහීර් ඛාන් සහ සුනිල් නරීන් වැනි ක්‍රීඩකයන් රැසක් මේ දක්වා අපේක්‍ෂිත දක්ෂතා අතර නොසිටින සේම පිතිකරුවන් අතුරින් ක්‍රිස් ගේල්, ග්ලේන් මැක්ස්වෙල්, ඒ.බී. ඩිවිලියර්ස් සහ විරාත් කෝලි වැනි පිතිකරුවෝ තම කණ්ඩායම්වලට අවශ්‍ය සේවය ලබා දීමට මේ දක්වා අපොහොසත් වී සිටිති.

කෙසේ වෙතත් හෂීම් අම්ලා, සන්ජු සැම්සන්, බෙන් ස්ටොක්ස් සහ ඩේවිඩ් වෝනර් යන පිතිකරුවන් සිවුදෙනා මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ශතක 4ක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර මේ දක්වා වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් ලකුණු 529කුත් සහ වැඩිම කඩුලු බිඳ හෙළා ඇති පන්දු යවන්නා ලෙස බුවනේශ්වර් කුමාර් කඩුලු 21කුත් බිඳ හෙළමින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ශක්තිමත් කර ඇත.
සටහන - කෝසල ගමගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment