ජාතියේ මාතාව හා ගෝලයන්ගේ රංගනය

ජාතියේ මාතාව හා ගෝලයන්ගේ රංගනය

ශිරන්ති රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ තනිව නොවේ. ඇය සමඟ දාහක දෙදාහක පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේ විරෝධතා සටන් පාඨ පුවරුද සහිතවය. පැහැදිලිවම එය සංවිධානාත්මකව සිදු වූවක් බව මනාව පෙනෙන්නට තිබිණි. සාමාන්‍යයෙන් ප්‍රකාශයක් ලබා දීමට සී.අයි.ඩී.යට හෝ පොලීසියකට යමෙකු පැමිණෙද්දී මේ ආකාරයට බාධාකාරී ලෙසින් හැසිරීම අපරාධ නීති සංග්‍රහය යටතේ දඬුවම් හිමි වන වරදක් වුවද පොලීසියේ රාජකාරියට බාධා කරමින් රාජපක්ෂ හිතවාදී ආධාරකරුවන් එහිදී අතිශය ආවේගාත්මක ලෙස එහිදී නිදහසේ හැසිරුණු බවක් පෙනෙන්නට තිබිණි.

අපරාධ පරීක්ෂකයන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසට දන්වා තිබු මුත් ඒ ඇතැම් ප්‍රකෝපකාරී ආධාරකරුවන් හැසිරුණේ ඇය දඬුකඳේ ගැසීමට ගෙන යන ආකාරයක් රටට මවා පාමිනි. සැබැවින්ම ඔවුන්ට සත්‍ය, යුක්තිය සාධාරණත්වය යන කාරණා වැදගත් නොවේ. ඒ සියල්ලටම වඩා ඔවුන්ට වැදගත් වනුයේ දේශපාලන පක්ෂපාතිත්වය පෙරදැරිව තම නායකකාරකාදීන්ව අන්ධානුකරණයෙන්, වන්දනාමාන කිරීමය.

අන්ධානුකරණයෙන් වන්දනාමාන කිරීම අපේ දේශපාලන සංස්කෘතිය තුළ තදින් මුල් බැස ගෙන ඇති කැත පුරුද්දකි. තමන්ගේ දේශපාලන නායකයා කුමන වැරැද්ද කළ ද ඒවා නොපිළිගන්නා කොට්ඨාසයක් අප වැනි තුන්වැනි ලෝකයේ රටවල දේශපාලනය තුළ දැකගත හැකිය. ශ්‍රී ලංකාවට අදාළව ගත් විට එය නිල්, කොළ, රතු භේදයකින් තොරව නොඅඩුව දැකගත හැකිය.

ප්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂව සීඅයිඩීයට ගෙන්වීම මහා වරදක්, අහස පොළොව නුහුලන අපරාධයක් වන්නේ කෙසේද යන්න අපට නම් ප්‍රශ්නාර්ථයක්මය. හිටපු ජනාධිපති ආර්යාව වූ නිසා ඇයට විශේෂ මුක්තියක් කිසිදු අවස්ථාවක හිමි වන්නේ නැත. ඇය මේ වන විට සිටිනුයේ අප ද නියෝජනය කරන සිවිල් සමාජය තුළය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට වසර දෙකකට පෙරද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබිණි.

‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියේ බැංකු ගිණුමකට අදාළ කාරණා සම්බන්ධයෙන් ඒ ප්‍රශ්න කිරීම සිදු කර තිබුණේ කථානායකවරයාගේ නිල නිවෙසේදීය. එවකට කථානායක ධුරයේ කටයුතු කළේ චමල් රාජපක්ෂ මහතාය. අපරාධ පරීක්ෂකයන් වෙත නොපැමිණ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝජනා කළ ස්ථානයක එම ප්‍රකාශය ලබා ගැනීම සම්බන්ධයෙන් එකල සෑහෙන කතාබහක් නිර්මාණය වූයේ නීතියට ඉහළින් ඇය නොසිටිය යුතු බව අවධාරණය කරමිනි. මේ වතාවේදී ශිරන්ති රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ඇයගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ සංවිධානය යටතේ පැවැති ජීප් රථයක් පිළිබඳව විස්තර දැනගැනීමටය. ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත ශ්‍රී ලංකා රතු කුරුස සංගමයෙන් කාන්තාවන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය වැඩ කටයුතු පහසු කරලීම පිණිස සපයා තිබූ මේ ජීප් රථය සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ව පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධිය හා සම්බන්ධ බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ. එවැනි පසුබිමක ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම වරදක් වන්නේ කෙසේදැයි සිතාගත නොහැකිය.

දිවයින පුරා සිදු වන මිනීමැරුම් දූෂණ සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු බරපතළ ගණයේ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන දියත් කිරීමට අදාළ වගකීම සහිත ආයතනය වනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එය ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රමුඛතම පරීක්ෂණ අංශය ලෙස සැලැකෙයි. තාජුඩීන් ඝාතනය හා ඈඳී ඇති මේ ජීප් රථයේ අංකය වනුයේ KA 0642 යි. ලෑන්ඩ් රෝවර් වර්ගයේ සුදු පැහැති මෙම ජීප් රථය රතු කුරුස සංගමය විසින් සිරිලිය සවියට බාර දී ඇත්තේ තාජුඩීන් ඝාතනය සිදු වීමට මාස නවයකට පෙරය. ඒ 2011 වසරේ අගෝස්තු 11 වැනිදාය. තම සංවිධානයේ කටයුතු සඳහා මෝටර් රථයක් ලබා දෙන්නේ නම් එය සහායක් බව සිරිලිය සවිය සංවිධානයේ ලේකම් කුමාරි දිසානායක නමැත්තිය 2011 ජුනි 22 වැනිදා ඉල්ලීමක් කර තිබූ අතර දින 50ක් ඇතුළත එය ඉටුකිරීමට ජගත් බන්ධු අබේසිංහ ප්‍රමුඛ රතු කුරුස සංගම් නිලධාරිහු කටයුතු කළහ. කාන්තාවන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධ වැඩ කටයුතු වෙනුවෙන් ජීප් රථයක් ඉල්ලා සිටිමුත් සැබවින්ම මේ ජීප් රථයෙන් කර ඇත්තේ “බේබිලාගේ වැඩ” බව මේ වන විට පැහැදිලිවම හෙළි වී තිබේ. ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් චතුර ද සිල්වා සීඅයිඩීයට දී ඇති සාක්ෂියෙන් එය මනාව පෙනී යයි. සුදු පැහැති රියක් වූ එම ජීප් රථයේ වර්ණය පළමුව යෝෂිත රාජපක්ෂගේ උපදෙස් මත නිල් පාටින් වර්ණ ගන්වා ඇති අතර පසුව එය කළු පැහැයට හරවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය එබඳු වෙනසක් සඳහා අවශ්‍ය කරන මුත් කොල්ලුපිටියේ ගරාජයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදලින් පාට මාරු කිරීම සිදුකළ ඒ එකදු හෝ අවස්ථාවක එවැනි අවසරයක් ලබාගෙන තිබුණේ නැත. චතුර ද සිල්වාගේ ප්‍රකාශය අනුව ජීප් රථය පළමුව යෝෂිත රාජපක්ෂ විසින් පරිහරණය කර තිබූ අතර පසුව එය සීඑස්එන් නාළිකාවේ හිටපු අලෙවි විධායකයකු වූ ඩීන් නමැත්තා විසින් පරිහරණය කර ඇත. සිරිලිය සවියේ නමට ලබාගෙන තිබූ මෙම වාහනයේ ඉන්ධන හා නඩත්තු කටයුතු සිදුකර තිබුණේ ද ජනාධිපති කාර්යාලය විසිනි.

මාධ්‍යවේදීන්ට හා සිවිල් සංවිධානවලට ඩොලර් කාක්කන් හා රට පාවා දෙන්නන් ලෙස චෝදනා කළ රාජපක්ෂ පවුල ‘හෙල්පින් හම්බන්තොට’ හා ‘සිරිලිය සවිය’ වැනි රාජ්‍ය නොවන සංවිධාන තමන්ට අවශ්‍ය පරිදි පිහිටුවමින් ඩොලර් අදින කෙකි නිර්මාණය කර ඇති බවත් එම මුදල් අවභාවිතාවේ යොදවා ඇති බවත් පැහැදිලිවම පෙනේ. පුණ්‍ය ආයතනයක් යැයි කියමින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහලේකම් කාර්යාලයේ අංක 111201 යටතේ ලියාපදිංචි කර ඇති සිරිලිය සවිය සංවිධානය, මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ගිණුම් අංක 143100146235069 යටතේ තම අරමුදල පවත්වාගෙන ගොස් තිබූ අතර, එම ගිණුම් ආරම්භ කිරීමේදී ව්‍යාජ හැඳුනුම්පත් අංක ලබා දී තිබීම හා බැංකු නිලධාරීන් විසින් ඒවා පිළිගෙන තිබීම හාස්‍යජනක කාරණාවක්ම විය. එම ගිණුමට අදාළව මුදල් ලබා ගැනීමේ බලය ඇති අය ලෙස නම් කර තිබුණේ එස්. රාජපක්ෂ, ඒ. එම්. ජේ. ඒ. කුමාරි හා කේ. කේ. දිසානායක යන අයයි. ඒ වෙනුවෙන් එස්. රාජපක්ෂගේ හැඳුනුම්පත් අංකය ලෙස 222222222V ලබා දී තිබු අතර කුමාරිගේ හැඳුනුම්පත් අංකය වූයේ 111111111V ය. සාමාන්‍යයෙන් හැඳුනුම්පත් අංකයක් ලබා දීමේදී මුල් ඉලක්කම් දෙක ලබා දෙනුයේ ඉපදුණු අවුරුද්ද වෙනුවෙනි. ඊළඟ ඉලක්කම්වලින් ස්ත්‍රී පුරුෂ භාවය හා උපන් දිනය පිළිබිඹු වේ.

මේ ආකාරයට පැහැදිලි වරදක් ගිණුම් ආරම්භ කිරීමේදීම සිදුව ඇතිමුත් එය හෙළි වූයේ වසර ගණනාවකට පසු මේ සංවිධානය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුවය. බරපතළ වරදක් එහිදී සිදුව ඇතිමුත් පරිගණක පද්ධතියේ දෝෂයක් ලෙස බැර කරමින් ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලුවේ නැත. ඒ ආකාරයට සිරිලිය යනු මුළුමනින්ම ප්‍රහේලිකාවක්මය.

සීඅයිඩීයට පැමිණි ශිරන්ති රාජපක්ෂගෙන් පරීක්ෂකයන් විමසූ දෑ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යයට සඳහන් කර තිබුණු දෑවලින් පෙනෙනුයේ ඔහුගේ නොමේරූ බව මිස වෙනකක් නොවේ. නාමල් පස්සා දොරෙන් නීතිඥයකු වූ බවට ඇතැමුන් කියන කතා සත්‍යයයැයි සිතෙනුයේ මෙවැනි අඥාන ප්‍රකාශ ඔහුගේ මුවින් පිටවෙද්දීය. පොලීසිය ඕනෑම කෙනෙකුගෙන් කටඋත්තරයක් ගනිද්දී සිවිල් අනන්‍යතාව පිළිබඳව විස්තර විමසීම සාමාන්‍ය තත්ත්වයකි. නම, වයස, ලිපිනය, විවාහක/අවිවාහක බව, විවාහය ලියාපදිංචි කර ඇද්ද නැද්ද යනාදි වශයෙන් ප්‍රශ්න විමසන ආකෘතියක් එහි තිබේ. එදින සීඅයිඩීය තුළ සැබැවින්ම සිදු වූ දෑ සම්බන්ධයෙන් නාමල් කියන කතාවලට වඩා වැඩි විස්තර අනාවරණය කිරීමේ හැකියාවක් අප සතුව ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110(2) වගන්තිය අනුව පොලිස් නිලධාරියකුට ප්‍රකාශයක් ලබා දීමේදී යමෙකුට නීතිඥයකු කැටිව යා හැකි අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සීඅයිඩීයට පැමිණ තිබුණේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ද සමඟිනි. සාමාන්‍යයෙන් බිරියගෙන් ප්‍රකාශයක් ලබා ගනිද්දී ඇයගේ ස්වාමි පුරුෂයාට සීඅයිඩීය ඇතුළට ගමන් කිරීමට හැකියාවක් නොමැති මුත් පරීක්ෂකයන් විසින් අඟහරුවාදා එයට ද ඉඩ දෙන ලදී. ශිරන්තිගෙන් ප්‍රශ්න කිරිම සිදු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රැස්වීම් ශාලාව තුළය. සාමාන්‍යයෙන් සීඅයිඩීයට පැමිණෙන ප්‍රභුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වනුයේ එහිදීය. එම රැස්වීම් ශාලාවේම මහින්ද රාජපක්ෂ මහතාට ද අසුන් ගැනීමට ඉඩ සලසා තිබිණි. සීඅයිඩීය වෙත පැමිණ ප්‍රශ්න කිරීම්වලට ලක් වන්නන්ට තේ පානයටද අවස්ථාවක් හිමිවන මුත් ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිස එය ප්‍රතික්ෂේප කළේය. තමන් පිටතින් රැගෙන ආ ජලය පමණක් ඔවුන් එහිදී පානය කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විශාල ජනතාවක් විශාල වශයෙන් ඝෝෂා කරමින් සිටියදී අතිශය බරපතළ මානසික පීඩාවන් මධ්‍යයේ රාජපක්ෂ මහත්මියගේ ප්‍රකාශය සටහන් කරමින් ඇයව ප්‍රශ්න කිරීමට බඳුන් කළේ සහකාර පොලිස් අධිකාරී තිසේරා වූ අතර රහස් පොලිසීයේ සුප්‍රකට චරිතය වන ශානි අබේසේකර ද සිදුවන දෑ පිළිබඳව ඒ සමීපයේ සිටිමින් නිරීක්ෂණය කිරීම සිදු කළේය. පරීක්ෂකයන් මතු කළ බොහෝ කාරණාවලට ශිරන්ති රාජපක්ෂ පිළිතුරු දුන්නේ නොරිස්සුම් ස්වභාවයකිනි. “මම දන්නේ නෑ, මට මතක නෑ, මම ඒව ගැන හොයන්නේ නෑ” යන පිළිතුරු පැය තුනකට ආසන්න කාලයක් සිදු කළ ප්‍රකාශය සටහන් කර ගැනීමේ අවස්ථාවේදී බොහෝ විට ඇගේ මුවින් පිට විණි.

අපේ දේශපාලනඥයන්ට හා ඔවුන්ගේ සමීපතමයන්ට අමතක වීමේ රෝගය මෑතක සිට තදින්ම වැලඳී ඇති බවක් පෙනෙන්නට ඇත. ප්‍රකාශය සටහන් කර ගැනීමේදී සිංහලෙන් ඇසු බොහෝ ප්‍රශ්නවලට සිංහලෙන්ම පිළිතුරු දුන්මුත් ඇය තම ප්‍රකාශයට අත්සන් කිරීමට තරමක් අදිමදි කළ බවක් කියැවේ. ඒ තම සිංහල භාෂා දැනුම පිළිබඳව ගැටලු ඇති බව කියමිනි. කෙසේ වෙතත් අවසානයේ ජනාධිපති නීතිඥ වීරසිංහ ද මැදිහත්ව විරෝධයක් නොදක්වා කටඋත්තරයට අත්සන් කරන ලෙස ඇයට දැනුම් දුන්නේය.

මිනිත්තු දෙසීයකට ආසන්න කාලයක් පුරා සිදු කළ ඇගේ ප්‍රකාශය සටහන් කිරීම තුළදී වාසිම් තාජුඩීන් ඝාතනය පිළිබඳව වචනයක් හෝ විමසීමක් සිදුකර නොමැති බව දැනගන්නට ඇති අතර ආන්දෝලනාත්මක ජීප් රියේ වර්ණ වෙනස් කිරීමේ තොරතුරු පිළිබඳ පමණක් ඇගෙන් විමසා තිබේ.

සීඅයිඩීය තුළදී හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරියට ඉහළම වෘත්තිය මට්ටමෙන් එහි නිලධාරීන් විසින් සලකන ලද මුත් 'පහසුකම් මදි' බව කියමින් පිටතට පැමිණි රාජපක්ෂවරුන් මැසිවිලි නැඟූ බවට දැනගන්නට ලැබිණි. වැසිකිළි කැසිකිළි පහසුකම්, ආසන පහසුකම් පිළිබඳ කියමින් ඔවුන් එසේ නහයෙන් හඬා තිබිණි. එවැනි අඩුපාඩු කියමින් රාජපක්ෂලා ව්‍යංග්‍යයෙන් මේ යෝජනා කරනුයේ අවශ්‍ය නම් තම නිවෙසට පැමිණ ඉදිරි ප්‍රශ්න කිරිම් සිදු කරගන්නා ලෙස මිස වෙනෙකක් නොවේ. ජීප් රියේ වර්ණ මාරු කිරීමේ සිද්ධිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මේ වන විට පරීක්ෂකයන් අනාවරණය කරගෙන ඇති බව කියැවෙන අතර ඒ අනුව ඉදිරි කාලය බොහෝ දෙනෙකුගේ සෞඛ්‍යයට ඒ හැටි සුවදායි නොවන ලකුණු බැලු බැල්මට පෙනෙන්නට ඇත. බදාදා සීඅයිඩීය ඉදිරිපිට පැවැති ඝෝෂා කිරීම්වලදී ප්‍රංසයේ සිදු කළ දින තුනක සංචාරයකට ජනතා බදු මුදල්වලින් රුපියල් ලක්ෂ 250ක් වියදම් කළ ශිරන්ති රාජපක්ෂ මහත්මියව 'ජාතියේ මාතාව' ලෙස හඳුන්වා දෙමින් ඇතැමුන් පුහු ඝෝෂා කළ මුත්, ඒ සඳහා කොතරම් සුදුසුකම් ඇය සතුද යන්න ඉදිරි මාස කිහිපය තුළ රටට නිසැකවම අනාවරණය වනු ඇත.

චාමර ලක්ෂාන් කුමාර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment