වගා නොකරන කුඹුරු ඉඩම්, සූර්ය බල විදුලි ජනනයට.


ශ්‍රී ලංකාවේ විදුලි ජනනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්හි දායකත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, එහිදී සූර්ය බලය මඟින් විදුලිය ජනනය සඳහා ප්‍රමුඛතාව ලබා දී තිබේ.

'සූර්ය බල සංග්‍රාම' ව්‍යාපෘතිය යටතේ ඕනෑම පාරිභෝගිකයකුට සූර්ය බලය මඟින් විදුලිය ජනනය කර ජාතික විදුලි බල පද්ධතියට සැපයීම මඟින් ආදායම් ඉපැයීමට අවස්ථාව ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වැඩි බස්නාහිර, සබරගමුව වැනි පළාත්වල සූර්ය බල විදුලි ජනනය සඳහා හොඳ විභවයක් පැවතියද ඒ සඳහා අවශ්‍ය ඉඩම් සපයා ගැනීමේ දුෂ්කරතා පවතී. භූමියේ සවි කිරීම මඟින් විදුලිය ජනනය කරනු ලබන මෙගා වොට් 1 ක ධාරිතාවයකින් යුත් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘතියක් සඳහා සාමාන්‍යයෙන් අක්කර 3ත් 5ත් අතර භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ.

ඒ අනුව, බස්නාහිර හා සබරගමුව පළාත්වල පවතින වගා නොකර අත්හැර දමනු ලැබ ඇති කුඹුරු ඉඩම්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ගේ සහ අනෙකුත් බලධාරින්ගේ එකඟත්වය සහිතව සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment