ලලිත් වීරතුංගගේ දඩ මුදලත් ජනතාවගේ කර මතට

ලලිත් වීරතුංගගේ දඩ මුදලත් ජනතාවගේ කර මතට

 

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදල් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය නියම කළේ රුපියල් මිලියන 50 ක මුදල් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ගෙවන ලෙසයි. ඒ ඔහුට නියම කළ සිර දඬුවමට අතිරේකවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම මුදල ගෙවීමට ඔහුට වත්කමක් නොමැති නිසා මහජනතාවගේ මුදල් පරිත්‍යාග බලාපොරොත්තු වන බවයි. මේ සම්බන්ධයෙන් ඊයේ (08) රාත්‍රී සාකච්ඡාවක් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේදී පවත්වා තිබේ.

ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ආගමිකයන්ගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ලලිත් වීරතුංග වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය පෙනී සිටීම පැසසිය යුත්තකි. මන්ද මහජන මුදල් භාවිතා කර මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස සිල්රෙදි බෙදීම සම්බන්ධයෙන් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට වරදකරුවන් වුවද එයට අනුබල දුන්, ආධාර දුන් සහ ඉන් ප්‍රතිඵල ලැබූවන් අද සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේය. ඒ නිසා ලලිත් වීරතුංගගේ දඩමුදල් ගෙවීමට ඔවුන්ට වගකීමක් තිබේ.

පැවති රජය තුළදී විවිධ වංචා-දූෂණ සිදුකරමින් මිලියන ගණන් බිලියන ගණන් තම සාක්කුවලට බැර කරගත් මොවුන්ට මිලියන 50 ක් යනු සොච්චමකි. එහෙත් එම මුදල් සතයකුදු නොසොල්වා මේ සූදානම් වන්නේ ලලිත්ගේ දඩ මුදලේ බර ද ජනතාව මත පැටවීමටයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහචරයන්ගේ සියලු වංචා දූෂණ ඉවසා වදාරණ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සම්බන්ධ වී සිටී.

එසේම මෙම දඬුවම් නියමවීම ආගමික කටයුත්තක් නිසා සිදු වූවක් බව හුවා දැක්වීමේ ප්‍රයත්නයක් ද ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ක්‍රියාත්මක ය. මෙකී සිල් රෙදි ජනාධිපතිවරණය ආසන්නයේදීම බෙදා දුන්නේ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවක්ද එම පාර්සලයට ඇතුලක්කොට ය. එම මැතිවරණය ආසන්නයේදී මෙම සිල්රෙදි වලින් කොටසක් පොලිස් අත් අඩංගුවට පවා පත්වූයේ මහජන මුදල් වැය කරමින් සිදුකළ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නිසාය. මැදමුලන වලව්වේ බූදලයෙන් සිල් රෙදි බෙදුවා නම් එයත් එකකි. එය පවා ඒ මොහොතේ දී නීති විරෝධී වන්නේ ජනාධිපතිවරණයක් කැඳවා තිබුණු හෙයිනි. ඒ නිසා පැහැදිලිවම නීතිවිරෝධී ක්‍රියාවක් වන ලලිත්ලාගේ අනූෂලාගේ සිල් රෙදි බෙදීමට දඬුවම් ලැබීම සම්බන්ධයෙන් බෞද්ධාගමිකයින් හෝ භික්ෂූන් කලබල විය යුතු නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment