ඇමතිවරු කීපදෙනෙක් ඊයේ මහින්දගේ නිවසේ සාකච්ඡාවක.


ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමුවී ඊයේ (07දා) පෙරවරු කාලයේදී රහස් සාකච්ඡාවක් පැවැත්වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.

මේ මාසයේ 20 වැනිදාට පෙර එක් දිනකදී ඇමතිවරුන් දහදෙනෙකු එකවර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේදී අවශ්‍ය වන තුනෙන් දෙකේ බහුතර බලය අහිමි කිරීමට මෙමගින් සැලසුම් කර ඇති බවත්, ඊයේ සාකච්ඡාවට සහභාගි වූ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයාට එම සහතිකය ලබාදුන් බවත් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ කිරීමේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකරනුයේ තමන් විසින් බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී  එක්සත් ජාතික පක්ෂයේ කලකිරුණු මන්ත්‍රීවරුන් පිරිසක්ද මහින්ද රාජපක්ෂ මහතාට මුණගස්වා සාකච්ඡා පැවැත්වූ බවත් ඒ මහතා කීවේය.

මීට පෙර අවස්ථා දෙකකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂමධ්‍යම කාරක සභා රැස්වීම් දෙකකට තමන්ට ආරාධනා නොකළ පසුබිමක පෙරේදා (06දා) දිනයේ පැවැති මාධ්‍යම කාරක සභා රැස්වීමට ආරාධනා කර තිබුණු බවත්,තමන් එම අවස්ථාවට සහභාගි නොවුණු බවත් ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඇමතිවරුන් ඉවත්වීමේ සූදානමක් ඇති බැවින් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබුණු බවද හෙතෙම පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment