ගල්කිස්ස රෝහින්ග්‍ය කලබලේ කළ අක්මීමන දයාරතන හිමි 9දා තෙක් රිමාන්ඩ්


පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී මියන්මාර් සරණාගතයන්ට එරෙහිව කලහකාරි ලෙස හැසීරීමේ සිද්ධියට අදාළව සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි සහ තවත් පුද්ගලයකු කොළඹ අපරාධ
කොට්ඨාසය මඟින් ඊයේ (02දා) අත්අඩංගුවට ගෙන

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අක්මීමන දයාරතන හිමියන්ට සහ අඹන්පොළ රතනසාර හිමියන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දන්වා තිබේ.

එම කැඳවීමට අනුව අක්මීමන දයාරතන හිමියන් සහ නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රවින්ද්‍ර වර්ණජිත් පෙරේරා යන අය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ පස්වරු 9.30ට පමණ පැමිණ තිබේ.
නමුත් අඹන්පොළ රතනසාර හිමියන් ප්‍රකාශ ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට නොපැමිණි බව පොලිසිය පවසයි.
අක්මීමන දයාරතන හිමියන්ගෙන් සහ අනෙක් තැනැත්තාගෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය හතරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන්ට පහරදීම, පොලිස් රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම, අයුතු ජන රාශිය, දේපළවලට හානි සිදුකිරීම ආදී චෝදනා රැසක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද වාර්තා විය.
ඉකුත් සැප්තැම්බර් 26 වැනි දින සිදු වූ මෙම කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඒ වන විට සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු නිලධාරීන් විසින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment