නමුත් මේ වන විට දැනගන්නට ලැබෙන්නේ කැටලෝනියා ප්‍රාන්තයේ ජීවත් වන ජනතාව ඉතා කැමැත්තෙන් ජනමත විචාරණයේදී වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටිමින් ඡන්දය පාවිච්චි කරන්නට සූදානමින් සිටින බවයි. ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට නියමිත පාසල් වැනි ස්ථානවල මේ වන විට බෙදුම්වාදීන් දහස් ගණනින් රැඳී සිටින්නේ, එසේ නොවුණහොත් පොලිසිය පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතුවලට බාධා කරතියි බියෙනි. මේ අතර ස්පාඤ්ඤ පොලිසිය පවසන්නේ තමන් මෙම ජනමත විචාරණය පැවැත්වීමට ඉඩ නොදෙන බවයි. අනවසර රැඳී සිටින්නන් ව පළවා හරින බව ද ඔවුන් පවසයි.
මේ අතර ජනමත විචාරණය සංවිධාන කළ පිරිස පවසා ඇත්තේ අළුයම 5 වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස්, උදේ 9 වන විට ඡන්දය ප්‍රකාශ කර ජනමත විචාරණයට සහාය දක්වන ලෙසට ය.
ජනමත විචාරණයෙක්දී අසනු ලබන්නේ එක් ප්‍රශ්නයකි. එනම්, “කැටලෝනියාව ජනරජයක ස්වභාවයේ ස්වාධීන රාජ්‍යයක් බවට පත්කිරීමට ඔබට අවශ්‍යද?”
මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය සිය බලවත් අකමැත්ත සහ අප්‍රසාදය කිහිප වතාවක් පළකර තිබිණි. නීතිය අනුව මෙය සැලකෙන්නේ බෙදුම්වාදී ක්‍රියාවක් ලෙසය. පසුගිය දිනවලදී මෙම ජනමත විචාරණයට අදාළ පත්‍රිකා සහ විවිධ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර, ඉහළ පෙළේ කැටලෑන් නිලධාරීන් හට දඩ නියම කිරීමත් දේශපාලකයන් දුසිම් ගණනක් තාවකාලිකව අත්අඩංගුවට ගැනීමත් සිදුවිය. කැටලෝනියා පළාත් ආණ්ඩුවේ විදුලි සන්දේශ මධ්‍යස්ථානය ද මධ්‍යම රජයේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලා ගැනීම සිදුවිය.
ඊශාන දිග ස්පාඤ්ඤය තුළ ප්‍රංශයට යාබදව පිහිටන කැටලෝනියා ප්‍රදේශයේ කලාපීය අගනගරය වන්නේ බාසිලෝනාවයි. එහි මිලියන 7.5කට අධික ජනගහනයක් ජීවත් වෙති. බාසිලෝනා, ගිරෝනා, ලෙයිදා, තරාගෝනා යන පළාත් හතරෙන් එය සමන්විත ය.
සුප්‍රසිද්ධ බාසිලෝනා පාපන්දු සමාජයේ නිවහන වන්නේ ද කැටලෝනියාවයි. තවද ස්පාඤ්ඤයේ අංක එකේ සංචාරක පාරාදීසයකි. කැටලෝනියා පළාත තුළ වෙනම භාෂාවක් ද භාවිතා වෙයි. එයට විශාල ස්වයං පාලන බලතල සමූහයක් ලබාදී තිබුණ ද ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය වෙනම රටක් වශයෙන් සැලකෙන්නේ නැත. කැටලෝනියාවට වෙනම ජාතික ගීයක් මෙන්ම ජාතික කොඩියක් ද තිබේ. බාස්ක් කන්ට්‍රි සහ ගැලීෂියාව ද කැටලෝනියාව මෙන්ම විශාල ස්වයං නිර්ණ බලතල සමූහයක් භුක්ති විඳිමින් සිටින ස්පාඤ්ඤ පළාත් වේ.
වසර ගණනාවක් මුළුල්ලේ, මධ්‍යම රජයෙන් විමධ්‍යගත වූ බලතල නොව, ස්වයං පාලනයක් සහිත වෙනම රටක් සඳහා කැටලෝනියානු බෙදුම්වාදීහු අරගලයක නිරත වී සිටියහ. පසුගිය ජූලි මාසයේ ස්පාඤ්ඤ ව්‍යවස්ථාදායකය පිළිගෙන තිබුණේ කැටලෝනියානුවන්ගෙන් 41%ක් වෙනම රාජ්‍යයක් වශයෙන් මධ්‍යම රජයෙන් කැඩී වෙන් වී යන්නට කැමැත්තෙන් සිටින බව සහ 49%ක් මධ්‍යම රජය සමගම රැඳී සිටීමට ප්‍රිය කරන බව ය. බහුතර මතය උරගා බැලීම සඳහා ජනමත විචාරණයක් වෙත යාම පිළිබඳ සාකච්ඡා ඉන්පසු පුළුල් වූ අතර, මේ වන විට කැටලෝනියාව පවත්වන්නට යන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් පැවැත්වීමට තහනම් කර ඇති ජනමත විචාරණයකි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment