නව ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි තැන ආරක්ෂා වන බව විශ්වාසයි - මල්වතු මහ නාහිමි

නව ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි තැන ආරක්ෂා වන බව විශ්වාසයි - මල්වතු මහ නාහිමි

 

රටේ පාලන බලයේ සිටින ප්‍රධානීන් දෙදෙනා එවැන්නක් සිදු නොවන බව ස්ථිරව ප්‍රකාශ කරත්දී තවත් ප්‍රශ්න කරන්නට දෙයක් තිබේ දැයි උන්වහන්සේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධණ මහතා ඊයේ (02) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අතුරු කමිටු වාර්තාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ යෝජනා ඇතුළත් ලියවිල්ලක් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූ අවස්ථාවේ උන්වහන්සේ මේබව ප්‍රකාශ කළහ.මෙම යෝජනා ඇතුළත් ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ලබාදී තිබෙන බවද ඒ මහතා කීය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඔබ ඇතුළු කිහිප දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වල සාමාජිකත්වය දැරූ බවත් බුද්ධාගමට හානියක් හෝ රටේ ඒකීය භාවයට හානියක් වන තීන්දු ගත්තේ නම් ඊට එරෙහි වීමේ අවකාශ තිබූ බවද මහනාහිමියෝ පැවසූහ.

ව්‍යවස්ථාවක් රටට එපා කියන මතයේ සිට ක්‍රියා නොකර රටට ගැලපෙන ‍හොඳ ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අදහස් ‍හා යෝජනා ඉදිරිපත් කිරීම වැදගත් බවත් රටට,ජාතියට,ආගමට අයහපත් වන තීන්දු ගන්නේ නම් එම අවස්ථාවේ ඊට එරෙහිව හඬ නගන බවත් මහනාහිමියෝ කීහ.

යමක් කරන්නට යන සෑම අවස්ථාකම ඊට විරුද්ධ වන පිරිසක් රටේ සිටින බවත් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීමට ගිය අවස්ථාවේද මේ අකාර විරෝධතා මතුවූ බවත් කී මහනාහිමියෝ ඉන් සිදුවූයේ රට අපස්සට යෑම බවද අවධාරණය ක‍ළහ.

පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කර පැරණි කේවල ක්‍රමය හඳුන්වා දීම ඉතා හොඳ දෙයක් බවද පළාත් සභා තියෙනවාද නැද්ද යන්න නොතේරෙන තරමට ඒවාහි වැඩකටයුතු දුර්වල මට්ටමක තිබෙන බවත් මහනාහිමියෝ කීහ. දේශපානය රැකියාවක් ලෙස කරන උදවිය පළාත් සභාවල බොහෝ සිටින බවද උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අතුරු වාර්තාව තුළ රටේ ඒකීය භාවයට හා බුද්ධාගමේ ආරක්ෂාවට තර්ජනය වන යෝජනා ඇතුළත්ව තිබෙන බවත් මෙම වගන්ති දෙක වෙනස් කරන්න අත තියන්න එපා කියන නිවේදනයක් නායක හිමිවරු තුන් නමක් පසුගිය සතියේ නිකුත් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා කීය.

ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කළ කමිටු වල සාමාජිකයින් ලෙස තමන් ඇතුළු පිරිස ඉදිරිපත් කළ යෝජනා අතුරු වාර්තාවට ඇතුළත් කර තිබෙන බවද ඒ මහතා කීවේය.

අතුරු වාර්තාව තුළ සිංහලෙන් ඒකීය ලෙසත් දෙමළ බසින් එය ඒකාබද්ධ රාජ්‍යයක් ලෙස දක්වා තිබෙන බවත් කී ඒ මහතා ඉංග්‍රීසියෙන් මෙතෙක් තිබූ යුනිටරි යන්නට වෙනත් වචන වලින් නව අර්ථකතන ලබාදී තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ මහනාහිමියෝ කවුරු කියන එකද පිළිගන්නේ කියන එක ප්‍රශ්නයක් බවත් වැඩිපුර බොරු කියන්නේ කවුද කියන ප්‍රශ්නය දැන් අහන්න සිදුව තිබෙන බවත් කීහ.

නුවර නදීක දයා බණ්ඩාර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment