දුමින්ද සිල්වාට අසාධ්‍යයි.
බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී, හදිසියේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණි වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ඔහුව සිර මැදිරියකට ඇතුළත් කර තිබිණි.එහෙත් එදින රාත්‍රී කාලයේ දී ඔහුගේ රෝගී තත්ත්වය නැවතත් උත්සන්න වීම නිසා යළිත් හිටපු මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට යවා ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ අදාළ කරුණ තහවුරු කළ අතර, වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත කරනු ලබන මෙම මාරුකිරීම් සම්බන්ධයෙන් තමන්ට වැඩි විස්තර පැවසිය නොහැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණි අදාළ වෛද්‍යවරයාගේ මේ තීරණයට බන්ධනාගාර රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් විරෝධය පළ කර ඇති බව වාර්තා වුවද, එය තහවුරු කිරීමට කිසිදු වෛද්‍යවරයකු ඉදිරිපත් වූයේ නැත. කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ දුමින්ද සිල්වා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවත්, ඔහු ප්‍රතිකාර අත්‍යවශ්‍ය රෝගියකු ලෙස හඳුනාගෙන ඇති බවත් ය. එසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසියේ වෛද්‍යවරයකු යැවීම පිළිබඳව විමසීමට අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, එහි ප්‍රකාශකයකු පැවසුවේ බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් සමාජයේ මතු වී ඇති විරෝධය නිසා එවැනි තීරණ ගැනීමේ හැකියාවක් අමාත්‍යාංශය සතු බවයි.
මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍යවරුන් නව දෙනකුගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් නිර්දේශ කර තිබුණේ ද ඔහුට ප්‍රතිකාර අත්‍යවශ්‍ය බවයි. ඔහුගේ මොළයට දැඩි හානි සිදු වී ඇති නිසා මෙසේ ප්‍රතිකාර ලබා දිය යුතු බව ද වැඩිදුරටත් නිර්දේශ කර ඇත. ඔහුගේ මොළයේ ඉදිරිපස කොටසේ හිස් කබලේ බිඳී ගිය කොටස් සහ උණ්ඩ කොටස් තැන්පත්ව ඇති බවත්, ඇතැම් උණ්ඩ කොටස් මොළයේ අභ්‍යන්තරයට කිඳා බැස ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මාධ්‍යයට පවසා තිබුණේ කුමන චෝදනා ඉදිරිපත්ව තිබුණ ද, සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කිරීම රජයේ මූලික වගකීමක් බවයි.
-ජනිත ප්‍රසාද් සේනානායක
0 comments :
Post a Comment