ලංකාවේ පුංචි පුතෙක් ලෝකයේ ළාබාලම ලේඛකයා ලෙස ගිනස් පොතට!

ලංකාවේ පුංචි පුතෙක් ලෝකයේ ළාබාලම ලේඛකයා ලෙස ගිනස් පොතට!

සීෂෙල්ස් දූපතේ වාසය කරන මේ පුංචි පුතා උපතින් ශ්‍රී ලාංකිකයෙකි. පොතක් පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා බවට ඔහු පත්වන විට ඔහුගේ වයස අවුරුදු 4 ක් සහ දින 356 කි.

තනුවන සේරසිංහ විසින් ලියූ “Junk Food” නමැති ඉංග්‍රීසි පොත, සූරිය ප්‍රකාශනයකි.

පොත ලිවීම සඳහා තනුවන පුතාට ගත වී තිබෙන්නේ දින 3 ක කාලයක් බව ද සඳහන් ය.

ඉගෙනීමේ අති දක්ෂයෙක් වන තනුවන පුතා, ඉතා වේගයෙන් පොත් කියවන්නෙක් බව ද අප වෙත වාර්තා වේ. ළදරු පාසල් අධ්‍යාපනය ආරම්භ කරන විටත් භාෂා 7 කින් හෝඩිය ලියන්නට ඔහුට හැකියාව තිබී ඇත. මේ වන විට ඔහු සීෂෙල්ස් හි වික්ටෝරියා ජාත්‍යන්තර පාසලේ 2 වන ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියි. ඔහුගේ පියා වන තුසිත සේරසිංහ මහතා සීෂෙල්ස් හි මැරියට් ඉන්ටනැෂනල් හෝටලයේ හෝටල් තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි.

තනුවන විසින් සිය පොත එළි දක්වා තිබෙන්නේ ද සුවිශේෂී උත්සවයකදී ය. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සමරනු පිණිස නොබෝදා සී ෂෙල්ස් හිදී සංවිධානය කළ සංස්කෘතික උත්සවයකදී සී ෂෙල්ස් හි උප ජනාධිපති වින්සෙන්ට් මෙරිටන්, සීෂෙල්ස් හි සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක, ශ්‍රී ලංකාවේ දෘෂ්‍ය හා රංග කලා සරසවියේ උප කුලපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූ උත්සවයකදී මෙම පොත දොරට වැඩුම සිදුවිය.

මීට පෙර පොතක් පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා වශයෙන් ගිනස් වාර්තාව ඉසුළුවේ බ්‍රසීල ජාතික දරුවෙකි. අදයුතෝ කොවාල්ස්කි ඩා සිල්වා නමැති මේ දරුවා එම වාර්තාව තබන විට ඔහුගේ වයස අවුරුදු 5 ක් සහ දින 302 ක් විය. නමුත් තනුවන පුතා ඔහුට වඩා වසරක් පමණ වයසින් බාල ය.

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය මේ පුංචි පුතාට උපහාර දැක්වීම සඳහා විශේෂ උත්සවයක් නොවැම්බර් 24 වැනිදා සීෂෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment