කළ කළ දේ ඵල පල දේ !

කළ කළ දේ ඵල පල දේ !

 දින කිහිපයක් පුරාවට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ඝන මීදුම, හිරු එළිය දැක ගැනීමට නොහැකි තරමට පැතිර ඇත. අධික ජනගහනයක් ජීවත් වන දිල්ලි නගරය, ලොව පුරා සිටින බොහෝ රටවල්වල මගී ජනතාව ගුවන් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද එමෙන්ම ඉන්දියාවේ සිටින ජනතාවගේ  දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවයේ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන්ද භාවිතා වෙයි.

දිල්ලි ඝන මීදුම ඇති වීමට හේතුව අධික වායු ධූෂණය බව පැවසේ. බහුල ලෙස පැතිරුණු කර්මාන්ත ශාලාවලින් පිටකරන වායු හා වාහන මගින් පිටවන දුම් දූෂණය ඇති කිරීමට මූළිකවම බලපාන සාධක වේ.

 

විද්‍යාත්මක හේතුව
දිල්ලියේ නව තත්වයට හේතුව තවමත් හරිහැටි සොයාගෙන නැතත් වායුගෝලයේ පවතින ආම්ලික ස්වභාවයත් සමග සල්ෆර් ඩයි ඔක්සයිඩ් (SO2) ක්‍රියාකිරීම නිසා මෙවැනි ඝන මීදුම් තත්වයක් නිර්මාණය කරන බව ඉන්දියානු මධ්‍යම දූෂන නියාමන මණ්ඩලයේ වායු තත්ව පාලන විද්‍යාගාරයේ ප්‍රධානී ඩී. සහා මහතා පවසයි. ඒ මහතාට අනුව පසුගිය කාලය පුරාවට වායුගෝලයේ SO2 ප්‍රතිශතය අඩු කිරීමට උත්සාහ ගෙන ඇත. එහිදී පරිසර හිතකාමී ඉන්ධන භාවිතය (clean fuels) දිරිමත් කිරීම, බල ශක්ති බලාගාර වසා දැමීම, ඉන්ධන තෙල් දහනය තහනම් කිරීම වැනි පියවරයන් ගෙන ඇත.

SO2 වලට අමතරව කාබනික ද්‍රව්‍ය දහනයෙන් එන බෙන්සීන්, ටොලුවීන් සහ ෆෝමැල්ඩිහයිඩ් ආදී වායුද ඝන මීදුමක් ඇතිකිරීමට දායක වේ.

පරිසරයට දරා ගත හැකි SO2 ප්‍රමාණය ඝන මීටරයට මයික්‍රෝ ග්‍රෑම් 80 ක් බව ගණනය කොට තිබේ. කෙසේ වෙතත් දැනට දිල්ලි අග නගරයේ So2 පවතින්නේ ඝන මීටරයක, මයික්‍රො ග්‍රෑම් 13.8 ක් වශයෙනි.

සාමාන්‍ය යෙන් ඝන මීදුම ජල වාෂ්වලින් සමන්විත නිසා සුදු පාට විය යුතුයි. නමුත් දිල්ලි පවතින්නේ අලුපාට අංශුවලින් සමන්විත වූවකි. එනිසා මෙහි විෂ සහිත වායු සහ වායු දූෂක ද්‍රව්‍ය අනිවාර්යෙන්ම පැවතිය යුතු බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.

 

අහිතරකර ප්‍රතිඵල
මෙවැනි තත්වයක් පවතින විටදී ගමනාගමනය ඉතාම අනතුරුදායක වේ. ඉදිරියේ ගමන්කරන වාහනය නොපෙනෙන තරමට පවතින ඝන මීදුම හේතුවෙන් මාර්ග අනතුරු ඉතා අධික වේ. එසේම දුම්රිය හා ගුවන් ගමන් සඳහාද මෙමගින් බාධා ඇතිවෙයි. පෙරේදා වන විට දුම්රිය 115 ක් ප්‍රමාද වී තිබුණි.

 

 

දිල්ලිය වායු දූෂණය අධික අග නගරයක්
ඇමරිකානු පරිසර ආරක්ෂක නියෝජිතයන් පවසන පරිදි වඩාත් වායු දූෂණයට ලක් වූ අග නගරය වන්නේ නව දිල්ලිය යි.

air polution

 

ගජ වාසි
දිල්ලි නගරයේ තාවකාලිකව හෝ ස්ථිරව ජීවත්වන්නන්ට පවතින තත්වය යටතේ ස්වසන ගැටළු ඇති වී තිබේ. එසේම ඉදිරියේදී එවැනි ශ්වසන ආබාධ වර්ධනය විය හැකි බවට ජනතාව තුළ බියක්ද හටගෙන ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලැබී ඇත්තේ වායු ප්‍රේරක මුඛ වාඩම් අලෙවි කරන වෙළඳුන්ටය. දිල්ලියේ සෑම සාප්පු සංකීර්ණයකම මුඛ වාඩම් අලෙවියට තැබීම ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.

එසේම විශේෂ උත්සවය වලදී මුඛ වාඩම් නොමිලේ ලබා දීමටද සංවිධායකයින් කටයුතු කරනු ලැබේ.

 

පැරිස් සම්මුතිය

ලෝකයේ සිදුවන පරිසර වෙනස්වීම් පාලනය කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස පිළිබඳ සමුළුව මැදිහත් වී පැරිස් සම්මුතිය 2015 දෙසැම්බර් 12 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී සම්මත කර ගන්නා ලදී. මෙම සම්මුතිය අනුව ගෝලීය උෂ්ණත්වය ශක 2 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කෙරේ. 2020 වසර වන විට මෙය ක්‍රියාත්මක වීමට සියළුම රටවල් සූදානම් විය යුතු වේ. දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තමන්ට හැකි අයුරින් මෙහිදී කටයුතු කරන බවට මෙම සම්මුතියේදී එකඟත්වය පල කර ඇත

2016 ඔක්තෝම්බර් 03 වෙනිදා පැරිස් සම්මුතියට ඉන්දියාව අත්සන් තැබුවේ හරිතාගාර වායු CO2 මෝචනයට දායක වන ලෝකයයේ සිව්වැනි රට වශයෙනි. ඉන්දියාව 6% ක් CO2 වායු ගෝලයට මුදා හරින රට බවට පත්වී ඇත.

2016 අප්‍රේල් මස 12 වෙනිදා පැරිස් සම්මුතියට එවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් නිව්යෝක් නුවරදී අත්සන් තැබීය. සම්මුතිය බල ගැන්වීමට නම් පාර්ලිමේන්තුවේ ඒ සඳහා අනුමැතිය ලැබිය යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තු ඒකමතික අනුමැතිය 2016 සැප්තැම්බර් 09 වෙනිදා හිමිවිය.

කේ. විජයවර්ධන

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment