| ඉදිකිරීම් සඳහා යෝජිත ප්‍රදේශය |
ලෝක ප‍්‍රසිද්ධ කිතුල්ගල පාරිසරික පද්ධතිය අනතුරට පත්ව ඇති බව වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය පවසයි.
ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කර ඇති නිවේදනය පහතින්,
"වනාන්තර, ජලාශ, ගංගා සහ දිය ඇළි යන මහා සම්පත් වලින් මේ සුන්දර දිවයින නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාව තුළ මිනිස්වාසය ආරම්භ වීමත් සමඟ මිනිසා සහ පරිසරය අතර බැඳීම අයහපත් වීම නිසා පරිසරයේ ස්භාවික සමතුලිතතාවය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටීම ආරම්භ විය. අද වන විට මේ පුංචි දිවයින තුළ හරිත වර්ණයෙන් බැබලෙන මනරම් කඳු පන්ති මෙන්ම කසල කඳු බිහිවීමට තරම් මිනිසාගේ සහ පරිසරයේ බැඳීම අයහපත් වී ඇත.
| 2017 ජූනි මස නායයෑමට තුඩුදුන් නෙළුව මාවනාන කුඩා ජල විදුලි බලාගාරය |
| 2017 ජූනි මස නායයෑමට තුඩුදුන් නෙළුව මාවනාන කුඩා ජල විදුලි බලාගාරය |
| Devario micronema හෙවත් කිතුල්ගල සාලයා |
යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා පරිමාණ ජල විදුලි බලාගාරය මෙම මත්ස්‍ය විශේෂය සීමා වී පවතින ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත අතර, දැනටත් ප‍්‍රාදේශිය බලධාරීන් අවසර ලබා දී ඇති මෙම ඉදිකිරීම සිදුවුවහොත් කිතුල්ගල සාලයා මත්ස්‍ය විශේෂය වාසය කරන ජල මූලාශ‍්‍ර විනාශ වී මුලූ ලොවින් සදහටම වඳ වී යාමේ තර්ජනයක් පවතී ස්ථානීය ආවේණික (point endemic) කිතුල්ගල සාලයා සම්බන්ධ කරුණු පාරිසරික ඇගයීම් වාර්තාවල සඳහන් නොවී තිබීම නිසා අදාල ප‍්‍රාදේශිය බලධාරීන් මෙම ව්‍යාපෘතියට අනුමැතිය දී ඇත්තේ එකී වැදගත් කරුණු සම්බන්ධව සැලකිල්ලට නොගෙන බව පැහැදිලිය. ව්‍යාපෘතියට හසුවන ජල ප‍්‍රදේශය තුල මත්ස්‍ය විශේෂ 39ක් දැකිය හැකි අතර මින් 21ක් ලංකාවට ආවේනික මත්ස්‍යයින් වේ. ඉන් 17ක් වඳවීයාමේ තර්ජනයට මුහුණ පෑම නිසා IUCN රතු දත්ත පොතට ඇතුලත් වී ඇති අතර ඉන් 12ක්ම මෙම පරිසරයේ ජීවත් වේ.
බොහෝ ප‍්‍රදේශ තුල දැනට ඉදිකර ඇති කුඩා ජල විදුලි බලාගාර මගින් පරිසරයට නිර්දේශ කල ජල ප‍්‍රමාණයවත් බලාගාර හිමියන් විසින් නිදහස් නොකිරීම නිසා ඉතා ගැටළුකාර තත්වයක් ඇතිවී තිබේ. මෑතකදී කුඩා ජල විදුලි බලාගාර ඉදිකල බොහෝ දිස්ත‍්‍රික්ක තුල ජල චක‍්‍රය විකෘති වීම නිසා තද නියං තත්වයත්, ඉන් පසුව මෝසම් වැසි සමග ගංවතුර හා නායයෑම් විශාල වශයෙන් ඇතිවීමත් නිසා මිනිස් ජීවිත විශාල ගණනක් අහිමි විය, පවුල් ලක්ෂ ගණනක් දැඩි පීඩාවට පත්විය. මීට ප‍්‍රධාන හේතුව වූයේ ස්වභාවික වනාන්තර හා ජල මූලාශ‍්‍ර විනාශ කිරීමත්, එම ප්‍රේරක කලාප හා ජල මූලාශ‍්‍ර අවහිර කර කුඩා ජල විදුලි බලාගාර ඇතුළු නොයෙකුත් ඉදිකිරීම් කිරීමත්, ජලය ස්වභාවික දොළ හා ගංගා වලින් තොරව කොන්ක‍්‍රීට් කාණු පද්ධති හරහා යැවීම නිසා ජල උල්පත් විනාශ වීමත්, කඳු හා බෑවුම් ප‍්‍රදේශ තුල කැනීම් කටයුතු නිසා පසෙහි ස්ථාවරත්වය බිඳ වැටීමත්ය.
මෑත කාලීනව ඇතිවූ වියලි කාලගුණ තත්වයන් යටතේ හා ඉදිරියට අපේක්ෂිත දැඩි නියං හා එල් නීනෝ කාලගුණ තත්වයන් යටතේ කුඩා ජල විදුලි බලාගාර මගින් තව දුරටත් ජාතික විදුලි අවශ්‍යතාවයට සැලකිය යුතු සහයක් නොලැබෙන බව ඔප්පු වී ඇත. එය පසුගිය සමයේ විදුලි බල ජනන දත්ත සැසඳීමේදී පෙනී යයි, කුඩා ජල විදුලි බලාගාර 180කට ආසන්න ප‍්‍රමාණයක විදුලි උත්පාදන එකතුව ජාතික අවශ්‍යතාවයෙන් 2% ක් වත් නොවීමත් බලාගාර කාර්යක්ශමතාවය 20%ක් ආසන්නයේ පැවතීම මගිනුත් ඉහත කාරණය තවදුරටත් සනාත වේ.
වත්මන් පරිසර ඇමති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කිහිප වරක් සඳහන් කර ඇති පරිදි දිනෙන් දින උග‍්‍ර වන නියං තත්වය එල් නීනෝ තත්තවල සහ දේශගුණ විපර්යාස හමුවේ මෙරට ඉතිරි වී ඇති ජල මූලාශ‍්‍ර රැක ගත යුතු අතර, එම වටිනා ජල සම්පත හා වැසි වනාන්තර වනසමින් රටේ විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට කොහෙත්ම ඉඩදිය නොහැක. වනාන්තර විනාශය හා ගෝලීය උෂ්ණත්වය නැගීම නිසා ඉදිරියේදී පැමිනීමට නියමිත දරුණු නියං තත්වයත් සමඟ අපට කෘෂිකර්මාන්ත කටයුතු තබා පානය කිරීමටවත් ජලය ඉතිරි නොවනු ඇත.
ඉහත වැදගත් කාරණා සැලකිල්ලට ගෙන ලෝක ප‍්‍රසිද්ධ කිතුල්ගල පාරිසරික පද්ධතිය හා සංචාරක කලාපය විනාශ වීමට තුඩු දෙන මෙම කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට අනුමැතිය නොදෙන ලෙසත්, සිංහරාජයට නොදෙවෙනි ජෛව විවිධත්වයක් ඇති මෙම සුවිශේෂ වැසි වනාන්තර පද්ධතිය රැක ගැනීමට අවශ්‍ය නීති සැකසීමට විධිමත් ක‍්‍රියාවලියක් දියත් කරන ලෙසත් වග කිවයුතු බලධාරීන්ගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු."
0 comments :
Post a Comment