පත්වීම් දෙන්න, මාරුවීම් හදන්න අකිලගේ බිරිය වගේ අණ කරලා.


අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ බිරිය බව පවසමින් ගුරුපත්වීම් හා ගුරු මාරු සිදුකරන ලෙසට දුරකතන මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කරන තැනැත්තියක සොයා විශේෂ විමර්ශනයක් ඇරැඹෙයි.

අධ්‍යාපන ඇමැති බිරිය බව පවසා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ගුරු පත්වීම් හා ගුරු මාරු සම්බන්ධයෙන් නිතර දුරකතන ඇමතුම් මඟින් බලපෑම් කිරීම නිසා සැක සිතූ අදාළ නිලධරයන් ඒ බැව් ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

කිසිම අවස්ථාවක දේශපාලන හෝ රාජකාරිමය කටයුතුවලට සිය බිරිය සම්බන්ධ නොවී සිටියදී ජනතාව මුළා කර මෙවැනි ක්‍රියාවක යෙදෙන අය ඉක්මනින්ම අල්ලාගත යුතු බව නිලධාරීන්ට පවසා ඇති ඇමැතිවරයා වහා පරීක්ෂණ අරඹන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන හා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත.

මීට පෙර ඇතැම් ඇමැති බිරින්දෑවරුන් මේ ආකාරයට ගුරු පත්වීම්, මාරුවීම් හා දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම් වැනි කටයුතු වෙනුවෙන් ක්‍රියාකර තිබුණත් වත්මන් ඇමැතිවරයාගේ බිරියගෙන් එවැනි ක්‍රියාකාරකමක් නොතිබුණ නිසා තමන් මේ ගැන දැනුම් දුන්නේ පුදුමයෙන් යුතුව බවද එම නිලධරයන් ඇමැති අකිල විරාජ් කාරියවසම්ට ප්‍රකාශ කර ඇත.

අමාත්‍යාංශයේ ආරක්ෂක අංශය මේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.

අමාත්‍යාංශයට පැමිණෙන ජනතාව මුළාකර ගසාකන්නන් අල්ලා ගැනීමට පොලිස් බුද්ධි අංශ යොදවා තිබෙන අතර මෙසේ දුරකතන ඇමතුම් මඟින් නිලධාරීන්ට බලපෑම් කරන තැනැත්තිය ඉක්මනින්ම අල්ලා ගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment