නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමතිට අපේ සුබපැතුම්. එහෙත් ..... ?

නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමතිට අපේ සුබපැතුම්. එහෙත් ..... ?

 

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වුණු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ආසනය සඳහා තේරී පත් වුණු පියසේන ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ ඉතිහාසයක් ඇති දේශපාලනඥයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිර්පත් වන්නේ 1989 වසරේදී ය. එතැන් සිට 2015 මැතිවරණය දක්වාම ඔහු අපරාජිතව මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය ඇමතිවරයකු, කැබිනට් ඇමතිවරයකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. එහෙයින් ඔහු අත්දැකීම් සපිරි ජ්‍යේෂ්ට දේශපාලනඥයකු බව අවිවාදිතය.

එහෙත් පියසෙන ගමගේ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන රන්දිම ගමගේ යනු දකුණේ පාතාලය සමඟ ගහට පොත්ත සේ බැඳුණු චරිතයකි. පාතාල ප්‍රබලයින් වන මාකඳුරේ මධූෂ්ක, කොස්ගොඩ සුජී වැන්නන් සමඟ රන්දිම ගමගේගේ සම්බන්ධතා පසුගිය යුගයේදී වාර්තා වී තිබිණි. එහෙයින් නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබීමෙන් අනතුරුව පියසේන ගමගේ ක්‍රියාත්මක වන්නේ කවර ආකාරයෙන් ද යන්න පිළිබඳව අපි විමසිලිමත් ව සිටින්නෙමු. අමාත්‍යතුමනි, නීතියට අනුව කටයුතු කරනතාක් කල් අප ඔබ සමඟය. එහෙත් පුතුගේ චර්යාව අනුව යමින් පාතාලයින් නැළවීමට කටයුතු කරන්නේ නම් ඔබට ද සැලකීමට වන්නේ පසුගිය යුගයේ රාජපක්ෂලාට සැලකූ ආකාරයෙන් ම බව මතක් කර සිටීමට ද අප කැමතිය.

එසේම ජනාධිපතිවරයා මෙම පත් කිරීම හරහා කරන්නට යන්නේ කුමක්ද යන්නත් ගැටළුවකි. මෙම තනතුර මීට පෙර භාර දෙන්නට සූදානම් වූයේ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාටය. එහෙත් නීතිය හා සාමය අමාත්‍යාංශය එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන අමාත්‍යාංශයක් හෙයින් ආණ්ඩුව තුළ අනවශ්‍ය ගැටුමක් ඇතිවිය හැකි නිසා ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ඔහුට අදාළ ගෞරවය හිමිවිය යුතුය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක යනු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාය. ඔහු පරිපූර්ණ පුද්ගලයෙකැයි අප කියන්නේ නැත. කෙසේවෙතත් මෙය ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයට හීන් සීරුවේ කළ කෙණෙහිලිකමක් ලෙස සලකන්නට සිදුව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment