නව තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදි කරනවා - අර්ජුණ රණතුංග

නව තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදි කරනවා - අර්ජුණ රණතුංග
රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් ඊට වැය වන බවත් දේශීය අරමුදල්  ඒ සඳහා යෙදවීම අපහසු බැවින්  ආයෝජකයෙකුගේ මැදිහත්වීම ඊට  ලබා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ගැනීමට තමන් පියවර ගන්නා බව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ ඒ අමාත්‍යවරයා සදහන් කළේය.
 
පසුගිය සමයේ ඉන්ධන හිගයක් මතුවී පාරිභෝගිකයන් අසීරුතාවට පත්විම පිළිබඳව තමන් බෙහෙවින් කණගාටුවන බවත් එනමුත් කිසිදු අයුරකින් රට තුළට බාල තෙල් ගෙනඒමට අවස්ථාව නොදෙන බව කී ඔහු මෙසේද ප්‍රකාශ කළේය.
 
'තෙල් හිගය හා බාල තෙල් රට තුළට පැමිණීම මේ වන විට නිරාකරණය කර ගනිමින් යනවා. නව ටැංකි කිහිපයක් අලුතින් ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම නව පිරිපහදුව ඉදිකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මාස තුනක් තුළ බොහෝ දෑ සිදුකිරීමට නියමිතයි.'
 
'ශ්‍රී ලංකාවට මේ වන විට තෙල් බැරල් එක්ලක්ෂ දසදහසක අවශ්‍යතාවත් තිබුණත් අපට සැපයීම කිරීමට හැකිව තිබෙන්නේ බැරල් තිස් දෙදහසක් පමණයි. නමුත් නව පිරිපහදුවක් ඉදිකිරීම තුළින් තෙල් අවශ්‍යතාව මෙරටදී පිරිපහදු කර ගත හැකියි.'
 
'ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා ආයෝජකයෙකුගේ මැදිහත්වීම මත අප කිසිදු මුදලක් වැය නොකොට ඔහු සමග ඒකාබද්ධව වැඩකරන ක්‍රමවේදයක් සැලසුම් කරනවා. ආයෝජකයන් කිහිපදෙනෙකු සිටින අතර ඔවුන් කඩිනමින් තීරණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් යොමු කරනවා' යැයි ද අමාත්‍යවරයා කීවේය.
 
නුවර නදීක දයා බණ්ඩාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment