ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (ජීඑස්පී) වැඩසටහන පිළිබඳ කරුණු පැහැදිලි කිරීම

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (ජීඑස්පී) වැඩසටහන පිළිබඳ කරුණු පැහැදිලි කිරීම
ඒ අනුව 2015 වසරේදී කරනු ලැබූ බලාත්මක කිරීම (එච්.ආර්. 1295) 2017 දෙසැම්බර් මස 31 වැනිදා කල් ඉකුත් වෙයි. 2017 වසර සඳහා කොංග්‍රස් මණ්ඩලය කල් තැබීමට පෙර එය පොදු වරණීය ක්‍රමය යළි බලාත්මක කොට නැත. එබැවින් 2017 දෙසැම්බර් 31 වැනි දින එම වැඩසටහන කල් ඉකුත් වන අතර, එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු සියලුම ප්‍රතිලාභී රටවල් සහ භූමි ප්‍රදේශ විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන අදාල භාණ්ඩ 2018 ජනවාරි 01 වැනිදා සිට වරණීය නොවන තීරු බදුවලට යටත් වනු ඇත.    
 
එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙන් පොදු වරණීය ක්‍රමය යළි බලාත්මක කිරීම පමාවූ පළමුවැනි අවස්ථාව මෙය නොවේ. කෙසේවුවද, මීට පෙර අවස්ථාවන්වලදී, මෙවැනි පමා වීමකින් පසුව වරණීය වැඩසටහන යළි ක්‍රියාත්මක වූ විට, එසේ පමා වූ කාලය තුළ අපනයනය කරනු ලැබූ අදාල භාණ්ඩ වෙනුවෙන් අය කළ තීරුබදු, ආනයනකරුවන්ට නැවත ගෙවීම පිණිස අතීතයට බලපාන ආකාරයේ වගන්තියක් ඊට ඇතුළත් කොට තිබේ. 
 
ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අපනයනවලින් සියයට 27.5 කටත් වඩා ප්‍රමාණයක් අපනයනය කෙරෙයි.  2016 දී ශ්‍රී ලංකාව සිය අපනයනවලින් ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 10.3 ක මුළු ආදායමෙන් ඩොලර් බිලියන 2.8 ක් උපයා ගනු ලැබූයේ එක්සත් ජනපදයට කළ අපනයනවලිනි. 2017 වසරේ පළමුවැනි මාස 10 තුළ එක්සත් ජනපදයට කළ අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 2.4 ක් විය. 
 
දැනට, මෙම වැඩසටහන යටතේ භාණ්ඩ වර්ග 3,500 කට ආසන්න සංඛ්‍යාවක් තීරුබදු රහිතව එක්සත් ජනපද වෙළෙඳපොළට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිය. තෝරාගත් නිෂ්පාදිත අයිතම, ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී භාවිතා කෙරෙන අමුද්‍රව්‍ය, බුමුතුරුණු, තෝරාගත් කෘෂිකාර්මික සහ මත්ස්‍ය නිෂ්පාදන, සහ තෝරාගත් රසායනික ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය හා කිරිගරුඬ පාෂාණ මෙම භාණ්ඩ අතර වෙයි. කෙසේවුවද, ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට යැවෙන විශාලතම තනි අපනයන භාණ්ඩය වන ඇඟලුම් මෙම වැඩසටහන යටතේ ලැබෙන ප්‍රතිලාභවලට හිමිකම් නොකියයි.
 
ශ්‍රී ලංකාවද ඇතුළුව, පොදු වරණීය ක්‍රම වැඩසටහනේ ප්‍රතිලාභ ලබන රටවල් සමූහය, එම වැඩසටහන යළි බලාත්මක කරවා ගැනීම සඳහා ප්‍රයත්න දරන අතර, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය එය යළි බලාත්මක කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් පසුවෙයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment