නවීන්ටත් FCID යන්න වෙයි?


කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සිදුව ඇතැයි කියන වංචාවන් කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට එහි වෘත්තීය සමිති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සැරසෙන බව වාර්තා වේ.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් තේ ඉඩම් සංවර්ධනය සඳහා වෙන්කළ රුපියල් මිලියන 653.51 කින් රුපියල් මිලියන 100ක මුදලක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ඡන්ද දායකයන්ට කෘෂි ආම්පන්න බෙදාදීමට වැය කිරීම, සාවද්‍ය චෝදනා කර විගණන අංශය වසා දමා එහි සභාපතිවරයාගේ හිතවතියක් එම කටයුතුවලට පත් කිරීම හා පොහොර මුදල් ගොවීන්ට ගෙවා අවසන් නොකිරීම යන කාරණා මෙසේ පැමිණිලි කිරීමට යන චෝදනා අතර ඇතැයි පැවසේ.

මේ චෝදනා සම්බන්ධයෙන් වගඋත්තර කරුවන් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර හා එහි වැඩබලන සාමාන්‍යාධිකාරී තිලක් ප්‍රනාන්දු යන මහත්වරුන් නම් කිරීමට නියමිත බවද පැවසේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයට බෙදා ඇති රුපියල් මිලියන 100 න් ප්‍රතිලාභ ලැබූ ඇතැම් අයට තේ ඉඩමක් හෝ නොමැති බවත්, එසේ මුදල් දුන් අය අතර එළවළු ගොවීන්ද සිටින බවත් වාර්තා වේ.

ඔවුන්ට ලබාදී ඇති කෘෂි උපකරණ අතර ප්ලාස්ටික් වතුර ටැංකි, භූමිතෙල් හා විදුලි වතුර පොම්ප හා හෝස් ද ඇතැයි පැවසේ.

සභාපතිගේ පවුලට පෙත්සම් ගහලා !

සභාපතිගේ බිරිඳට කැලෑ පත්තර යැවූවයි චෝදනා කරමින් නියෝජ්‍ය අභ්‍යන්තර විගණන නිලධාරී කේ.ජී. නාරද, සහකාර සාමාන්‍යාධිකාරී (සේවා) අමිත පැස්කුවෙල් හා සහකාර විගණන නිලධාරී චමින්ද ප්‍රියංජිත් යන තිදෙනා අනිවාර්‍ය නිවාඩු යවමින් සූක්ෂම ලෙස විගණන අංශය වසා දමා ඇති බවට ද මීට පෙර මාධ්‍ය වාර්තා පලව තිබිණි.

සේවය ලබා නොගෙන විගණන නිලධාරියාට පමණක් රජයෙන් රුපියල් මිලියන 1.3ක් ගෙවා ඇති බවද පැවසේ.

ඇමති වසන්තව මඟහැරලා

අදාළ වංචා දූෂණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තේ පරීක්ෂණ ව්‍යාපෘති නිලධාරී සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසංහ මහතා විශයභාර අමාත්‍යවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇතත් ඔහු එය මඟහැර ඇති බවත් වාර්තා වේ.

දේවගෙදරගේ පවුලගේ කාර් අන්දරය !

මේ අතර, සභාපති දේවගෙදර මහතා ඔහුගේ බිරියගේ නමට ලියාපදිංදිව ඇති CAU - 1419 අංකය සහිත හොන්ඩා මෝටර් රථය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරමින් භාවිතා කර මසකට රුපියල් ලක්ෂ 2ක් ගෙවා ඇති බවද පැවසේ.

එම මෝටර් රථය සඳහා සිවුමසක කාලයක් මුදල් ලබාගෙන තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment