Kaspersky භාවිතය බලාගෙනයි! - වැටත් නියරත් ගොයම් කන හැඩ!


Kaspersky (කැස්පර්ස්කී) ලෝකයේ බොහෝ පරිගණක සහ පරිගණක ජාලවල වෛරස් ගාඩ් එකක්, එසේත් නැතිනම් පරිගණක පද්ධති වෛරස් ප්‍රහාරවලින් ආරක්ෂා කරදෙන රැකවලෙක් ලෙස ප්‍රකට නමුත්, ඊයේ වන විට එක්සත් රාජධානියේ සයිබර් ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානියා නිල වශයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ රජයේ කටයුතු සඳහා මෙම වෛරස් ගාඩ් එක භාවිතා කිරීම අතිශය අවදානම් සහගත බව ය. කැස්පර් ස්කී, සයිබර් ත්‍රෙට් එකක් හෙවත් ‘සයිබර් තර්ජනයක්’ වශයෙන් භාවිතා වීමේ ඉතා ඉහළ අවදානමක් ඇති බව ය.

කැස්පර්ස්කී ඇන්ටිවයිරස් මෘදුකාංගයේ හිමිකම තිබෙන්නේ රුසියාවේ මොස්කව් නුවර පිහිටා තිබෙන කැස්පර්ස්කී සමාගමට ය. මෙම සමාගම විසින් රටවල ජාතික ආරක්ෂාව පිළිබඳ දත්ත සොරකම් කිරීම සඳහා මෙය යොදාගන්නවා විය හැකි යැයි මේ වන විට ඔවුන්ට සාධාරණ සැකයක් පහළ වී තිබේ.

කැස්පර්ස්කී පමණක් නොව ඕනෑම වයිරස් ආරක්ෂණ මෘදුකාංගයක් පරිගණකයට ඇතුළත් කර ගනු ලබන්නේ සයිබර් තර්ජන සහ සයිබර් ප්‍රහාරවලින් මිදීම පිණිස ය. කැස්පර්ස්කී මෘදුකාංගය මෙතෙක් සැලකුණේ malware, email spam, phishing සහ hacking attempts මෙන්ම data leaks හෙවත් දත්ත සොරකම් කිරීම වළක්වා ගන්නට යොදාගත හැකි හොඳ සයිබර් විසඳුමක් ලෙස ය. නමුත් දැන් පෙනී යන්නේ ඒ සඳහා පරිගණක පද්ධතිවලට ඇතුළත් කරගන්නා මෙම මෘදුකාංගය විසින්ම පරිගණක ආරක්ෂාව අනතුරේ හෙළන බවයි. මෙය, වැටත් නියරත් ගොයම් කෑමකට සමාන ය.

කැස්පර්ස්කී පිළිබඳ මෙම අපවාදය ආරම්භ වන්නේ මෙයට මාස කිහිපයකට පෙර ය. එනම් රුසියානු ආණ්ඩුව, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ දත්ත පරිගණක පද්ධතිවලින් සොරකම් කිරීම සඳහා මෙම මෘදුකාංගය යොදාගන්නා බවට එල්ල වූ චෝදනා සමගිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙසට පසුගිය සැප්තැම්බරයේ ඇමරිකානු රජය, කැස්පර්ස්කී භාවිතය තාවකාලිකව එහෙත් නිල වශයෙන්ම තහනම් කළේය.

මෙම චෝදනාවට පිළිතුරු වශයෙන් එම රුසියානු සමාගම ප්‍රකාශ කළේ ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා තුන්වන පාර්ශවයන්ට ඉඩ සලසන බවයි. කෙසේ නමුත් එංගලන්තයේ සයිබර් ආරක්ෂාව පිළිබඳ බලධාරීන් විසින් සිදුකරන මෙම හෙළිදරව්ව, කැස්පර්ස්කී යොදාගැනීමේ සුරක්ෂිත බව තවදුරටත් ප්‍රශ්න කර සිටියි.

Kaspersky, ලංකාවේ ද පරිගණක ආරක්ෂාව සඳහා බහුල ලෙස යොදාගන්නා මෘදුකාංගයකි. ලංකාව සයිබර් තාක්ෂණය අතින් ඉදිරියට යාම මගින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගත හැකි බව විශ්වාස කරන යුගයක, මෙම ප්‍රවෘත්තිය අපට ඉඟි කර සිටින්නේ අප එහිදී කොතරම් සැලකිලිමත් විය යුතුද යන කාරණයි.

- අමාලි ජයවීර (LNW)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment