රජීව් සෙබස්තියන්ට වරෙන්තු


ප්‍රවීණ ගායකයන් තිදෙනකු සම්බන්ධ කරවා සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට ගිවිස ගනිමින් රුපියල් ලක්‌ෂ තුනක අත්තිකාරම් ගෙන එම මුදල වංචා කළ බව කියන ජනප්‍රිය ගායක රජීව් සෙබස්‌තියන් වහාම
අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාරවිල මහෙස්‌ත්‍රාත් සහ දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා තලංගම පොලිසියේ ස්‌ථානාධිපතිවරයාට පෙරේදා (15 දා) නියෝග කළේය.

 ප්‍රවීණ ගායකයන් වන සුනිල් පෙරේරා, ඩෙස්‌මන් සිල්වා සහ ඇනස්‌ලි මාලේවන සහභාගි කරවමින් 2017 අගෝස්‌තු 04 දා වෙන්නප්පුව ඇවෙන්ඩ්‍රා ගංගාරා හෝටලයේ දී "සරම"

නමින් සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට ගිවිසගත් බවත්, රජීව් සෙබස්‌තියන් ප්‍රසංගය නොපැවැත්වූ බවත්, මුදල් ආපසු ගෙවීමට චෙක්‌ පතක්‌ ලබාදුන් බවත් එය "අණකරු විමසනු" යටතේ අගරු වූ බවත් වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් "සරම" සංවිධායක දුම්මලදෙනිය, වෙන්නප්පුව පදිංචි හෙට්‌ටිආරච්චිගේ දොන් ටර්සියල් ක්‍රිස්‌ටි රත්නප්‍රිය මහතා පවසා තිබිණි.

 සාපරාධි විශ්වාසය කඩ කිරීම, මුදල් වංචාව, සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කීපයක්‌ මත වෙන්නප්පුව පොලිසිය විසින් ඔහුට නඩු පවරා තිබිණි. මේ අනුව ඔහු මෙදින මාරවිල අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතව සිටියද පැමිණියේ නැත.

 පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර, නීතිඥ දීපිකා ජයකොඩි යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. වෙන්නප්පුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එල්. බී. අබේරත්න මහතාගේ මෙහෙයවීම මත උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. රාජපක්‌ෂ ඇතුළු නිලධාරීහු පිරිසක්‌ මෙම සිද්ධිය උසාවි ගත කිරීමට කටයුතු සූදානම් කළහ.

නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment