ආදරේ ඉල්ලා පහරදෙමින් පරණ ලව් එක පසුපස ගිය නේවි කොල්ලා නාරාහේන්පිටදී පොලිස් භාරයට


          පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට ප්‍රසිද්ධියේ බිම පෙරළාගෙන පහර දී රන් මාලයක් කඩා ගත් බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයකු පෙරේදා (2) සවස නාරාහේන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මකුල්දෙණිය, උතුරුවෙලගහතැන්න පදිංචි විසි අට හැවිරිදි තරුණයෙකි.

මොහු ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ නායක ගුවන් භටයකු ලෙස සේවය කරන අයෙකු බව පොලීසිය පවසයි. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි විසි එක් හැවිරිදි තරුණියකි. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක පෞද්ගලික ලේකම්වරියක් ලෙස

කටයුතු කරන තැනැත්තියකි.

මෙම තරුණයා හා තරුණිය වසර හතරක් පුරා පෙම්වතුන්ව සිට පසුව තරුණිය විසින් මීට මාස හතරකට පමණ ඉහතදී ඇගේ තනි තීරණයක් මත සම්බන්ධතාව නවතා තිබේ. ඒ පිළිබඳ කනස්සල්ලෙන් සිටි තරුණයා නිතරම ඇගෙන් නැවත ආදරය ඉල්ලා කරදර කර ඇති බව ඇය පොලීසියට පවසා ඇත. අදාළ දින ඇය සේවය නිමවා පැමිණෙන විට මෙම තරුණයා බිමත්ව ඇය ඉදිරියට පැමිණ නැවත යහළු වන ලෙස පවසා තර්ජනය කර ඇත.

ඇය ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමඟ කෝපයට පත් තරුණයා ඇය එම ස්ථානයේදීම බිම පෙරළාගෙන ප්‍රසිද්ධියේ පහර දීමට පටන් ගෙන ඇති අතර අවට සිටි පිරිස් විසින් මේ පිළිබඳ නාරාහේන්පිට පොලීසියට දන්වා ඇත. එම අවස්ථාවේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් ප්‍රසන්න මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී තරුණිය ප්‍රකාශ කර ඇත්තේ ඇගේ රන් මාලය ද ඔහු කඩා ගත් බවය. ඒ අනුව ඔහුව පරීක්ෂා කරන විට ඔහුගේ කලිසම් සාක්කුවේ තිබි එම මාලය ද පොලීසියට හමුව තිබේ. අත්අඩංගුවට පත් තරුණයා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බීමතින් සිටි බව තහවුරු වී තිබේ. සැකකාර තරුණයා ඊයේ (22) දින අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment