දූෂිත සභාපති නැවතත් කෘෂිකර්ම රක්ෂිත මණ්ඩලයට පත්කිරීමේ සූදානමක්

දූෂිත සභාපති නැවතත් කෘෂිකර්ම රක්ෂිත මණ්ඩලයට පත්කිරීමේ සූදානමක්
ශ්‍රීලනිපයේ නායකයා ද වන රටේ නායකයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණ වංචාවලට එරෙහිව දැඩි සටනක නිරතවෙමින් සිටියදී ඔහුගේ පක්ෂයේම දෙවැනියා ලෙස සැලකිය හැකි ප්‍රධාන ලේකම් තනතුර දරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දූෂිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම විමතියට කරුණකි.
 
සිඩ්නි ගජනායක යනු දූෂණ වංචා සම්බන්ධ දිගු ඉතිහාසයක් ඇති පුද්ගලයෙකි. එම ඉතිහාසයට අනුව මෙම පුද්ගලයා රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරකට සුදුසු පුද්ගලයෙකු නොවේ. කෙසේ වෙතත් දෙශපාලනඥයන්ගේ අනුහසින් ඔහු කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ සභාපති තනතුර සඳහා පත්වන අතර එහිදීද ඔහු අනුගමනය කරන්නේ සුපුරුදු පිළිවෙතයි.
 
කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහු සම්බන්ධ දූෂණ වංචා පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව මෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුව ද විමර්ශන සිදුකර ඇති අතර එහෙත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඒ සියල්ල බැහැර කරමින් සිඩ්නි ගජනායක නැවතත් අදාල තනතුරේ පිහිටුවීමට කටයුතු කරමින් සිටී.
 
කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පළමු කෝප් කමිටු වාර්තාවෙන්ම සිඩ්නි ගජනායක සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් කර තිබේ. කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කොට ඇති තුන්වැනි පාර්ශ්වයේ රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගොවිජන සංවර්ධන නිලධාරීන්ට නීතිවිරෝධීව කොමිස් මුදල් ගෙවා ඇති බව හෙළිදරව් වී ඇති බව කෝප් කමිටුවේදී එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ලද හෙළිදරව්වෙන් කරන ලදි.
 
ගොවිජන සංවර්ධන නිලධාරීන් 559 දෙනකු සිටින අතර කෘෂිකර්මික රක්ෂණ මණ්ඩල යටතේ ගොවීන් සඳහා ක්‍රියාත්මක වන ක්‍රියාවලියකට මිස තුන්වැනි රක්ෂණ ක්‍රමයකට දායක කර ගැනීමට කිසිවිටෙකත් ගොවිජන සංවර්ධන නිලධාරීන්ට අවසර දී නොමැති බව හෙලි විය. නමුත් ගොවි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති තුන්වැනි පාර්ශ්වයේ රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන සංවර්ධන නිලධාරීන් හා ක්‍ෂේත්‍ර නිලධාරීන් සඳහා ඔවුන් උපයන ආදායමෙන් 7.5%ක කොමිස් මුදලක් ගෙවීමට තීරණය කොට තිබේ.
 
ඒ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවි රක්ෂණය මණ්ඩලයේ සභාපතිවරයා විසින් අංක 432 යටතේ 2015 ජුනි 12 දින චක්‍රලේඛයක්ද නිකුත් කර ඇත. මේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති අතර රජයේ සේවකයන්ට කොමිස් මුදල් ලබාදීම නීත්‍යනුකූල නොවන බව තහවුරු කොට තිබේ.
 
එය පදනම් කරගෙන කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ගැන ඇමැති මණ්ඩලයට කෝප් කමිටුවේ නිර්දේශය ඉදිරිපත් කොට තිබේ. මේ සම්බන්ධයෙන් කථානායක, පාර්ලිමේන්තු උසස් නිලධාරින් කාරක සභාවට කෝප් කමිටුව විසින් දන්වා ඇත්තේ කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතාව එම ධුරයෙන් ඉවත් කරන ලෙසයි.
 
මේ සිඩ්නි ගජනායක සම්බන්ධව කෝප් කමිටුවේ නිරදේශයයි. මීට අමතරව පසුගිය 2017 මැයි මාසයේදී රටේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර උවදුරේදී සිය බලය අයුතු ලෙස භාවිතා කරමින් රුපියල් මිලියනයකට අධික මුදලක් අවභාවිතා කර ඇති අතර එ් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වා ඇති අතර සභාපතිවරයාගෙන් නිදහසට කරුණු විමසා තිබේ.
 
ගංවතුර උවදුරට භාජනයවූවන් වෙනුවෙන් 'ක්ෂණික සහන සැලසීම' යන කරුණට මුවාවෙමින් කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය සතු මහජන මුදල් රුපියල් 1,150,000 ක මුදලක් වෙන්කර ඇති අතර එම මුදල්වලින් සභාපතිවරයාට රුපියල් 500,000 ක් වෙන්කර තිබේ. මීට අමතරව මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට රුපියල් 500,000 ක මුදලක් සහ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට රුපියල් 150,000 ක මුදලක් වෙන්කර තිබේ.
 
විගණකාධිපතිවරයා පවසන්නේ මෙම මුදල් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව නිදහස් කර ඇති බවයි.
 
මෙම භාණ්ඩ අදාල ප්‍රදේශවලට ලබා දී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර සභාපතිවරයාට වෙන්කළ මුදලින් මිලදී ගත් භාණ්ඩ ජීප් රථයක් මගින් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වෙත ප්‍රවාහනය කර ඇති බව වාර්තාවල සඳහන් කර තිබේ. එහෙත් විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි වටිනාකමක් සහිත භාණ්ඩ තොගයක් ජීප් රථයකින් ප්‍රවාහනය කළ නොහැකි බවයි. එසේම මෙම ජීප් රථය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල භාණ්ඩ බෙදීමේ කටයුතු සඳහා භාවිතා කළ බවට සඳහන් වුවද පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ කොළඹ සිට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් නැවත කොළඹට පැමිණ ඇති බවයි.
 
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සහ සිඩ්නි ගජනායකගේ තවත් දූෂණ හා වංචා සම්බන්ධ තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
 
UN
 
agri 1
agri 2
agri 3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment