රට්ටුන් හිනා ගස්සන - රටට බරක් වූ මැතිවරණ ක්‍රමයක්

රට්ටුන් හිනා ගස්සන - රටට බරක් වූ මැතිවරණ ක්‍රමයක්

ජනතා බර දෙගුණ වේද?

නව මැතිවරණ ක්‍රමයේදී බැලූ බැල්මටම පෙනෙන වෙනස්කම අපේක්ෂකයන් දෙගුණ වීම ය. ඒ අනුව සමානුපාතික ක්‍රමය යටතේ 4486 ක් වූ නියෝජිත පිරිස නව ක්‍රමය යටතේ 8356 ක් වී තිබේ. මෙය නියෝජිතයන් 3870 ක වැඩිවීමකි. මෙයින් ගැටළු දෙකක් ඇති වී තිබෙන බව දැනටම, බොහෝ විශ්ලේෂකයෝ කතා කරති. පළමුවැන්න, මේ වැඩිවන පිරිසට සාපේක්ෂව භෞතික පහසුකම් වැඩිකිරීම ගැන ය. රැස්වීම් ශාලා, මහජන ගැලරි ඇතුළු පොදු පහසුකම් රැසක් අලුතින් එකතු කිරීම ගැන අවධානය යොමු කිරීමට සිදුවේ. දෙවැන්න නියෝජිතයන්ගේ වැටුප්, දීමනා ආදියයි. මෙය රටට මහත් බරක් මිසක් සහණයක් ලබා දේ යැයි කිසි සේත්ම විශ්වාස කළ නො හැකි තත්ත්වයකි.

අනෙක් අතට මෑතකාලීන ඉතිහාසය දෙස හැරී බලන විට ලංකාවේ දේශපාලනය එන්න එන්න ම ජරා ජීරණය වූවා විනා, යහපත් දිශාවකට යොමු වූ බවක් පෙනෙන්නට නැත. කවුරුත් කතා කරන්නේ එන්. එම් ලාගේ, කොල්වින් ආර්. ද සිල්වා, ඩී.එස්ලාගේ, ඩඩ්ලිලාගේ, බණ්ඩාරනායකලාගේ යුගයන්හි පැවැති විශිෂ්ටත්වය ගැන ය. එවැනි කාල වකවානුවල පාර්ලිමේන්තුවේ පැවැති විවාද වල පැවැති විශිෂ්ටත්වය පවා අගයති. එවැනි තැනක තිබූ දේශපාලනය අද තිබෙන්නේ අශූචි පිරී ගඳ ගසන තැනක ය. පාර්ලිමේන්තුවේ පවා අද සිටින්නේ දූෂණ චෝදනා රාශියක උරුමකරුවන් ය. එවැනි තත්ත්වයක පළාත් පාලන නියෝජිතයන් සිටින්නේ කෙතරම් උසස් තත්ත්වයකද යන්න ගැටලුවකි.

පසුගිය කාලයේ බොහෝ අපරාධ පිටුපස සිටියේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් ය. රුසියානු ජාතික පෙම්වතා මරාදමා, ඔහුගේ පෙම්වතිය දූෂණය කර දැමුයේ ප්රාිදේශීය සභා සභාපතිවරයෙකි. තරුණියන් සියයක් දූෂණය කිරීමේ සතුට සැමරුයේ ද පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙකි. මෙලෙස ස්ත්‍රී දූෂණ, මිනී මැරුම්, අල්ලස්, ටෙන්ඩර් මගඩි, කොම්ස් ගැහිලි, මේ හැම එකක් පසු පසම පළාත් පාලන නියෝජිතයෝ සිටියහ‍. එවැනි පසුබිමක නියෝජිත ප්‍රමාණය දෙගුණ වීමෙන් සිදු වන්නේ කුමක්ද? ඉතා දරුණු ආර්ථික අගාධයක සිටින ලංකාවේ තවත් ආර්ථික පරිහානියකට ඇද වැටීම නොවේද? තවත් අතකින් රාජ්යක අනුග්‍රහය ලබා බහිවන තක්කඩියන් වැඩිවීමක් නොවේද?

ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසකට උපතින් ගෙනා ජාතියක් ඇත. ආගමක් ද ඇත. එමෙන් ම දේශපාලන පක්ෂයක් ද ඇත. සමහරු බොහෝ විට උපදින්නේ ද, මැරෙන්නේ ද, එකම දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කළ පුද්ගලයන් ලෙස ය. මෙය සාමාන්‍ය මිනිසුන්ට පමණක් පොදු වූවක් නො වේ. තමා කැපුවත් කොල යැයි කියා ප්‍රසිද්ධියේ අත පය කපා ගත් උගත් යැ යි සම්මත දේශපාලනඥයන් සිටි රටක ජනතාව එසේ සිතීම අරුම පුදුම දෙයක් ලෙස සිතිය නො හැකි ය. කෙසේ හෝ නව ක්‍රමය අනුව එක් කොට්ඨාසයකට එක් නියෝජිතයකු සිටී. අප කැමැති පක්ෂයට ඡන්දය දුන්නා යැයි කියන්නේ ඒ කොට්ඨාසය නියෝජනය කළ අපේක්ෂකයාට එම මනාපය ලැබීමකි.

අවර ගණයේ අපේක්ෂකයන් සමග පක්ෂ ද පැරදෙන ක්‍රමයක්

මේ තත්ත්වයේ නො පෙනෙන දෙයක් තිබේ. හැම පක්ෂයක් ම පිරිසුදු අපේක්ෂකයන් මැතිවරණය ඉදිරිපත් කළායැ යි කීව ද එවැනි පිරිසුදු අපෙක්ෂකයන් මේ මැතිවරණයට ඉදිරිපත් වී නැත. මේ බව පැෆරල් සංවිධානය නිකුත් කළ නිවේදනය ද දැක්වේ. එසේ නම් යම්කිසි අයකුට තමන් කැමැති පක්ෂයට ඡන්දය ලබාදීමේදී ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රමයක් නැත. පක්ෂය වෙනුවෙන් සිතා ඡන්දය ප්රෂකාශ කළ විට, කොට්ඨාසයට පක්ෂයෙන් පත්කළ අවර ගණයේ අපේක්ෂකයකු ඒ ඡන්දයෙන් ගොඩ යනු දැකිය හැකි ය. මේ තත්ත්වය වැළැක්වීමට හැකියාවක් මේ ක්රකමයෙන් හැකියාවක් තිබේද යන්න ගැටලු සහගත ය. විශේෂයෙන් ම අන්ත දූෂිතයන් තම කොට්ඨාසයේ අපේක්ෂකයන් ලෙස නම් කර දේශපාලන පක්ෂ නායකයින් විසින් පත්කර තිබෙනු අද දවසේ අපට දක්නට ලැබේ. ඔවුන් සම්බන්ධයෙන් විමසන විට පක්ෂ නායකයින් කියා සිටින්නේ ඔවුන් ගැන තීරණයක් ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදී ඇති බව ය. මේ අනුව පෙනීයන්නේ නායකයන් දූෂිත පුද්ගලයන් කොට්ඨාසයට නම් කරන්නේ ජනතාව ලවා පරාජය කරවන්නට ය. එහෙත් වර්තමාන ක්‍රමය හරහා පක්ෂය ද ඉන් පරාද වන බව ඔවුන් නො දන්නවා නොවේ. එසේ නම් මේ කරන්නේ ජනතාව ඇන්දවීම ය.

කාන්තා නියෝජනය

කාන්තා නියෝජනය ඉහළ යාම ද හොඳ ය. එහෙත් එය ද ඇත්තේ ගැටලු රැසක් මැද ය. ලංකාව වැනි රටක කාන්තාවන් ඉන්නේ ඉතා පසුගාමී තත්ත්වයකය. ඔවුන් ඉදිරියට ගැනීමට කරන මේ ප්‍රයත්නය ඇගයිය යුතුය. එහෙත් මෙවර අපේ දේශපාලනයට ඉදිරිපත්වූ කාන්තාවන් දෙස බැලීමේදී එහිදීද දක්නට ඇත්තේ සිදුවූ පරිහානියකි. අනිවාර්යෙන්ම අවශ්‍ය ප්‍රතිශතය පිරවීමට අවශ්‍ය නිසා පක්ෂ විසින් කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබා දී තිබේ. පසුගිය කාලය පුරාම කාන්තා නියෝජනය ලෙස සටහන් වූයේ බහුතරයක් නිළියන් ය. ඔවුන් කරන ප්‍රකාශ පවා හිරිකිත තත්ත්වයේ ඒවා විය. මෙවර ද ගමේ ඡන්දයට ද ඉදිරිපත් ව සිටින බොහෝ අපේක්ෂිකාවන්ගේ තත්ත්වය කණගාටු දායක ය. පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාවන්ට ඉදිරියට පැමිණ යමක් කළ හැකි බව උගත්, බුද්ධිමත් කාන්තාවන් පිළිගන්නේ නැත. ඔවුන් සිතන්නේ තමන්ගේ රැකියා‍ව හෝ වෙනත් ව්‍යාපාරයකට මේ තත්ත්ව බාධාවක් බව ය. එමනිසා ඔවුන් පෙරට ඒමේ අඩුව මතුවත් ම, සමහර පක්ෂ විසින් ඉදිරිපත් කළ අපේක්ෂිකාවන්ගේ ප්‍රමිතිය ඉතාම පහළ තත්ත්වයේ තිබෙන බව ද නිරීක්ෂණය වේ.

මෙවැනි පසුබිමක අප බලාපොරොත්තු වන යහපත් සමාජයක් බිහිකිරීමට හැකි පසුබිමක් නව මැතිවරණ ක්‍රමය සහ මෙවර එයට ඉදිරිපත් කර සිටින අ‍පේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු හැකිද යන්න ගැටලුවකි. දේශපාලනඥයන්ගේ විශේෂයෙන් ම පක්ෂ නායකයන්ගේ කැපවීමක් ඒ සඳහා ඉටුවී තිබේද යන්න ගැටලු සහගත වන අතර ජනතාව ඔවුන්ගෙන් මෙයින් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් බලාපොරොත්තුව තබා සිටියහ.

- දේවික රණවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment