ආර්ථික මර්මස්ථාන ලෙස නගර 04 ක් දියුණු කරනවා - චම්පික රණවක

ආර්ථික මර්මස්ථාන ලෙස නගර 04 ක් දියුණු කරනවා - චම්පික රණවක
ත්‍රිකුණාමලය වරාය හා කොළඹ වරාය යා කරමින් සිදුවන ආර්ථික ක්‍රියාවලිය කඩිනමින් පහසු කර ගැනීම සදහා කොළඹ, කුරුණෑගල, දඹුල්ල හා ත්‍රිකුණාමලය යන නගර සිය ආමාත්‍යංශයේ මැදිහත්වීම මත කඩිනමින් සංවර්ධනය කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා කීවේය.
 
මහනුවරට අද  (18) පැමිණි අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා සිය ඉදිරි වැඩපිළිවෙල දැනුම් දුන්නේය.
 
ඉහතකී සිව් නගරවල ජලය, විදුලිය, මහා මාර්ග ආදි යටිතල පහසුකම් මෙන්ම ජනාවාස ද දියුණු කරන බව කී අමාත්‍යවරයා, කුරුණෑගල නගරය සංවර්ධනය කිරීම සදහා විදෙස් ආධාර මත විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට ද කටයුතු කරන බව කීවේය.
කොළඹ නගරයේ සංවර්ධන වැඩපිළිවෙල ද කඩිනම් කළ බවත් ඒ අනුව වාරාය නගරය ද සීඝ්‍ර දියුණුවක් කරා ගෙන යන බව ද නව දුම්රිය සේවයේ කටයුතු ද ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කළේය.
 
අමාත්‍යවරයා සමග අදහස් පළ කළ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්, බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ පිළිබදව විමසූ අතර එහි සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීම අවශ්‍ය යැයි කීහ. බෝගම්බර බන්ධනාගාරය තම අමාත්‍යංශයට අයත් නොවන බවත් එය ආග්‍රමාත්‍ය කාර්යාලය විසින් කරන කාර්යයක් යැයි අමාත්‍යවරයා මහා නායක හිමියන් හමුවේ ප්‍රකාශ කළේය.
 
මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
 
ඉදිරි මාස 18ක කාලය තුළ ජනතාවට විධිමත් සේවයක් ලබා දෙන යෝජනාවලියක් මම ඉදිරිපත් කරනවා. නිවාස, ජල, පදිංචිවීම සදහා ඉඩම්, වාරිමාර්ග ආදි මූලික කටයුතු ද ගුවන් තොටුපල, වරාය, විදුලිබල ආදියෙහි පවතින ධාරිතාව ඉහළ නැංවීම සදහා කෙටිකාලීන වැඩපිළිවෙලක් ඒ යටතේ යෝජිතයි. එමෙන්ම ගංවතුර, නාය යාම් ආදියෙන් ජනතාව හා පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා විධිමත් පරිසර ආරක්ෂිත වැඩපිළිවෙලක් ද සමාජීය ගැටලු විසදීම සදහා ද සුදුසු වැඩපිළිවෙලක් ඒ යටතේ සකස් කර තිබෙනවා.
 
ඉකුත් 2016 වර්ෂයේදී උද්ඝෝෂණ 1417ක් ලංකාව පුරා සිදුව තිබෙනවා. ඒ අනුව දිනකට උද්ඝෝෂණ හතරක් පමණ සිදුව ඇති බව දැකිය හැකියි. ඒ නිසා සයිටම් වැනි ගැටලුවලට විධිමත් විසදුමක් ලබා දිය යුතුයි.  ජන වර්ග අතර මතභේද ගැටුම් බවට පත් නොකර පාලනය කිරීම හෝ අවශ්‍ය නම් මර්ධනය කිරීම හෝ කළ යුතුයි. ඒ සදහා නියමිත වැඩපිළිවෙලක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
 
මෙම අවස්ථාව සදහා නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති උපදේශක, හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා ද මේ අවස්ථාවට එක්විය.
 
නුවර නදීක දයා බණ්ඩාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment