මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක?


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන කූට වැඩ පිළිවෙළ ඔස්සේ ඔහුගේ ආශීර්වාදය ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලසුම් සහගතව ඉදිරියට ගෙන එමින් සිටින්නේ යැයි පුරවැසි බලය සංවිධානය චෝදනා කර සිටියි.

සිවිල් සංවිධාන ඊට කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි ද ජනතාවට පොරොන්දු වූ පරිදි විනාශකාරී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බල කර සිටින්නේ යැයි ද පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා “lankanewsweek” වෙබ් අඩවියට පවසා ඇත.

පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා එහිදී මෙසේ ද සඳහන් කර තිබේ.

සෝභිත නා හිමියන්ට පිටුපාලා :

''අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අරමුණු ඉදිරි අවුරුදු 2 ඇතුළතදීවත් ඉටු කර ගැනීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩ නොතබන බව ඔහුගේ එදා සිට මේ දක්වා වූ ක්‍රියාකලාපයෙන් මේ වන විට පැහැදිලිව ඔප්පු වී තිබෙනවා.

මෛත්‍රී, ඇල්ලේ හා ඥානසාර හිමිවරුන් සමග ගමනක ...

මහනුවර සිද්ධියෙන් පසුව එම දිස්ත්‍රක්කයේ සංචාරය කිරීමේදී 1983 කළු ජූලියට සම්බන්ධ ඇල්ලේ ගුණවංශ ද කැටුව යාමටත් එහිදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට තවත් ජාතිවාදී සහ ආගම්වාදී භික්ෂූන් වහන්සේලා එකතු කර ගැනීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කිරීමෙන් ද සිය ජපන් නිල සංචාරයට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් එක්කර ගැනීමෙන් ද ඒ බව තව තවත් තහවුරු වුණා.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා රටේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට උඩ ගෙඩි දුන්නා හා සමානවම මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට උඩ ගෙඩි දෙමින් සිටින්නේ කුමකට ද කියා අප කවුරුත් දන්නවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ කිසිවකට විරුද්ධ නොවී නිහඬව බලා සිටීමෙන් පැහැදිළි වන්නේ ඔහු කිසිවකට එරෙහිව නැගී සිටිය හැකි සහ ක්‍රියා කළ හැකි දේශපාලන කසේරුකාවක් සහිත නායකයකු නොවන බවයි.

මේ අනුව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උදාරතර අරමුණු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ඉටු කර ගැනීමට නොහැකි වී තිබෙන අතර උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අප ගැඹුරින් සාකච්ඡා කරමින් සිටිනවා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න :

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අප බල කර කියා සිටින්නේ රටට ජනතාවට විනාශකාරී වූ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ දේශපාලන වශයෙන් කූට වැඩ පිළිවෙළ ඔස්සේ ඔහුගේ ආශීර්වාදය ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලසුම් සහගතව ඉදිරියට ගෙන එමින් සිටින අතර අප ඊට අපේ දැඩි විරෝධය පළ කර සිටිනවා.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment