වඳ පෙති කා විශ්වාශ භංග කූඤ්ඤය ගලවා ගත් ශ්‍රි සෙන් රජු ගේ වස්තුව

වඳ පෙති කා විශ්වාශ භංග කූඤ්ඤය ගලවා ගත් ශ්‍රි සෙන් රජු ගේ වස්තුව

“මං හොයාගත්තා! මං හොයාගත්තා !!”

පුඟුලා දොරට ගසමින් සර්වාංගය දෝලනය කරමින් උඩ පනින ජුගුප්සාජනක රංගනය යතුරු හිලෙන් බලා සිටි බිරින්දෑ, අසු දුටු දෙයින් තිගැස්සින ....

“ටැබ්ලට් එක හම්බුනා! ටැබ්ලට් එක හම්බුනා!!” කියද්දී උන්දැ ට දෙලෝ රත්වුනේ කොලුවගේ වදෙන් බේරෙන්නට බැරි කමට නිවාස ණයක් රැගෙන කොලුවට අරං දුන් ඇපල් එක මේ යෝදයා වැසිකිළි වලේ දමා ගත්තා දෝ යන සිතුවිල්ල රොන් සයිඩ් එකේ එන පුද්ගලික බස් එකක් මෙන් වේගයෙන් හිතට ආ මොහොතේදීය.

කොම්පියුටර් ටැබ්ලටයෙන් ප්‍රජනන ආම්පන්න මුවා කරගත් පුඟුලා “වඳ පෙත්ත හම්බුනා!” කියද්දී කාරණේ තේරුම් ගත් ගෙදර උන්දෑ දොර අරිත්ම “මෙන්න බඩු! ලොව පිළිගත් ‘ඇට නෝ’ වඳ පෙති ගත්තු ගමන් සයිබීරියාවට සරමක් ඇඳගෙන ගියා මෙන් ක්‍ෂනික ප්‍රතිඵල. ගන්න ඇට නෝ!” කියමින් කෑ ගසමින් ටැබ්ලටය පෙන්නමින් සිටි පුඟුල් තෙම, නැවතත් ටැබ්ලටය කියවද්දී ........... “පෙති, කොත්තු රොටි වල දමා වඳය ලබාදෙන්න ........” කියත්ම, පළාත් පාලන මැතිවරණ රිසල්ට් එක දුටු නිදහස් වේදිකා පොරක් මෙන් පට්ට අස්පට් මූඩයට ටියුන් වෙමින් ............අම්මප මේක මේ පජාතිවාදියෝ දාපු ෆේක් නිවුස් එකක් නෙ .... මාවත් අහුවුනා!”

කෙටෙමින් තිබූ කොච්චි සම්බෝලය ගැන නොතකා භෞතික හේතුන් අනුව මෙවේලේ සුදුසූතම අසුන වූ ඇර තිබූ වංගෙඩිය උඩින් හිඳගත් පුඟුලාහු .... හිස අත් ගසමින් මුමුණන්නට විය “ෂාහ්! වේලෙන්නත් කලිං සේරටම නිව්ස් එක වට්සැප් කරලා, ෆේස් බුකලා, වෛබරේ, ටුවීටරේ, ඉන්ස්ටග්‍රාම යේ මදිවට ලින්ක්ඩ් ඉනේ ටත් දැම්මා නෙ ...... මේකෙන් රට ලේ විලක් වෙනවා කියමින් වංගෙඩිය තුලට කිඳා බසිද්දී, සීග්‍රගාමීව ලුහුටා යන කිරිපල්ල කොච්චි සම්බලේ ගැටීමට ඇති කාල පරාසය ගණන් බලමින් සිටි බිරින්දෑ “ටක් ගාල සිරිසෙන් තුමාට කියලා ඕවා සේරම ටික වහලා දැම්මනං ... නෝ සෝෂල් මීඩියා නෝ බ්ලඩ් බාත්!”

“මාර අයිඩියා එක. දැන් නිදහස් මාධ්‍ය කට්ටියත් ජනාධිපති ඔෆිස් එකේම හින්දා එක කෝල් එකෙන් වැඩේ කරතහැකි!” පකට පුඟුලා ටැබ්ලටයෙන්ම ජනාධිපති කාර්යාලයට කතාකරමින් කරුණු පැහැදිලි කර සිටි මොහොතේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියල්ල වසා දැමීමට එකඟ වූයේ මෑතක් වන තුරුත් මාධ්‍ය නිදහස වෙනුවෙන් ව්‍යාපාර ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධාන කප්පිත්තෙකි. මේ පියවරෙන් සම ලිංගික ප්‍රජාවට මෙන්ම වෙසක් තොරණ තහනම් කිරීමට භාධා නැතිනම් නෝ ප්‍රොබ්ලම් කියූ පුවත් ජෙනරල් තුමා වහා ක්‍රියාත්මක වීමට එකඟ විය.

එක කෝල් එකෙන් සියලු කලබල තහනම් කර ගනිමින් අහ්ලාදයට පත් පකට පුගුලා සමතයකට පත් වෙද්දී ගිගුරුම් හඬකින් කුස්සිය දෙදරා ගොස් සියලු උපකරණ කොච්චි සම්බෝලය හා ඝට්ඨනයට පත් වන ස්වරුපයක් මතු වූයේ නොසිතු ලෙසිනි.

“කවුද සුරෙඛා?” බිරින්දෑ ගුගුරමින් ඇෆ් සී අයි ඩී නිලධාරීයෙක් මෙන් හරස් ප්‍රශ්න අහද්දී පකට පුඟුලා වහා දියත් වුනේ මේ අය කොපමණ ප්‍රශ්න කළත් දඬුවම් නැති බව අත් දැකීමෙන් දන්නා හෙයිනි.
දිය දෝතකින් උතුරු දකුණු තුඩු දොවා ගනිමින් ගෙදරින් එලියට පැන අල්ලාගත් බසය මගදී මහා ගාලගෝට්ටියක් මැද නතර වුනේ ය.

වර්ජනයේ යෙදෙන දොස්තර වරු දහස් ගණනක් වීදි බැස සිටි අතර වෛද්‍ය සංගම් සභාපති වරයා වේගවත් කතාවක් කරමින් වඳ පෙති මිත්‍යාවක් බවත්, ලොව කිසි තැනෙක කිසි දිනෙක එවැනි පෙත්තක් නිපදවා නැති බවත් කියමින් කළබල ඇති නොකර සංසුන් වන ලෙස ජනතාවගෙන් බැගෑපත් ඉල්ලීමක් කරමින් ඉනු පුඟුලාට ඇසුනි. එතුමා ඊ ළඟට කී දෙයින් පුඟුල් තුමා උඩුකුරු වී ගියේය. තම සටනේ අරමුණ රෝහල් ගණනාවක පහසුකම් නගා සිටුවන ලෙස රජයට බල කර සිටීම බවත්, රජයෙන් පඩි ලබමින් පෞද්ගලික සේවයේ යෙදීම තහනම් කල යුතු බවත්, දොස්තරවරුනට කාර් පර්මිට් දීම, ජනප්‍රිය පාසල් ලබාදීම වැනි වරප්‍රසාද ලබාදීම අසාධාරණ බවත් කියා සිටිමින් සියලු දොස්තරවරුන් ලබන සියලු ආදායමට අන්තිම සතයට ආදායම් බදු ගෙවීමට පොරොන්දු වන බවද පවසද්දී පකට පුඟුලා ට ක්ලාන්තය ගතියක් ඇතිවෙමින් දනිස් පණනැති වෙමින් යන්නට පටන් ගැනින.

පුඟුලාට ප්‍රකෘති සිහිය ආවේ ළඟ සිටි කොලුගැටයෙක් වට්ස්ඇපය තද කරමින් සංඝ නායක හඬක් අවදි කිරීමත් සමඟිනි. මහා නායක, අනු නායක හිමි වරු කිසි දා නොකී අන්දමින් “අපි සිංහලයෝ වෙමු, අපි දෙමළුය, මරක්කලයෝද අප වෙමු, එමතුද නොව බර්ගර් ද වන්නෙමු ..... ඒ නිසා මම විකුණන නුඩ්ල්ස් සමගියෙන් කන්න සියල්ලන් එක්විය යුතු වන්නෙමු, .... වෛර නොකර එකට කමු” සංගයා කියන්නේ හද සසල කරවන සංවේගාත්මක හඬිනි. සංගක්කාරයා කඩුලු රැකීමත් දඟ පන්දු යැවීමත් එක වර කරන්නේ පුදුම ආතල් අන්දමකිනි.

හීං දාඩිය ට පවන් ගසාගන්නට කර තිබූ පයියට අත දැමු පුඟුලාට අසුවුනේ දෙදහස් වසරකට පෙර විෂ්ණු ශර්මන් පඬි වරයා ලියු පංච තන්ත්‍රයයි. පෙරලූ පිටුවේ තිබුනේ, වැද්දෙකු ගේ දැලට අසුව මරණයට මුහුණදී සිටියදී ඉතා දුෂ්කර ලෙස තම රැහේ විවිධ කුරුළු කැළ සමගි කරගත් චිත්‍රග්‍රීව නම් පරවි රජ දැලද උසුලා පියඹා ගොස් දැල කපා විමුක්තිය ලබා ගැනීමට හිරණ්‍යක නම් මීයා වෙත ගිය මොහොතේ සියල්ලෝ විපතට පත් වූ අන්දම පැහැදිලි කරමින් කී කාරණයයි.

“ගිජු ලිහිණි තෙමේ පස් විසි යොදුනකින් ඈත සිට බලා අනුභව කිරීමට සුදුසු ආහාරය දකියි. එහෙත් පුර්වකෘත කාර්ම බලයකින් ඊට නුදුරින් පවත්නා මල පුඩුව නොදකියි”

පොළොන්නරුවේ සිරිසෙන් රජු තම මහා ඇමති විශ්වාශ භංගයෙන් පරදවා ගැනීමට ගිජු ලිහිණි දර්ශනයට වැටී ඇති බව වැටහුණු පුඟුල් තෙම මහා ජනපති තෙම මීයාට තරමේ බුද්ධියක් හෝ නැතිව හැසිරෙන අන්දම සිහිව මතකයට පැමිණියේ වඩු මඩුවට වන් වඳුරු පෝතකයාගේ වස්තුවයි.

මහේන්ද්‍ර වඩුවාගේ වඩු මඩුවේ ගොඩවැදී අඩක් ඉරා ඇති ලී කොටයේ හිඳ විශ්වාශ භංග කූඤ්ඤය ගලවා ගත්තොත් තම ප්‍රජනන ආම්පන්න පමණක් නොව වලිගයද අහිමි වන බව මොහුට නොතේරේ. එමතුදු සිදුවියහැකි දෝෂාභියෝගයකදී දෙපක්‍ෂය මෙන්ම දමිළ සන්ධානයත් එක්ව චන්දය ප්‍රකාශ වීමෙන් එතුමා ඇටනෝ වඳ පෙති ගසා වඳ ජෙල් තනපටයක් ඇඳි ඥානසාර කෙනෙකුගේ තත්වයට වැටීම වැලකීමට සක්කරයාගේ පුතා වයිමාටද නොහැකිය.

විස්සෝපයට පත් පුඟුලා බසයෙන් බැස පාර අයිනේ ගරා වැටී තිබූ නිදහසේ වේදිකාවකට නැගී වට පිට බැලුවත් වේදිකා කෙළවර පරණ වමේ දේශපාලකයෙකුගේ බාහුවේ එල්ලී හඬා වැටෙන ගායකයෙක් හැර වෙනත් කිසිවෙක් එහි නොසිටිය බව දැනිණ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment