
ග්‍රාමීය දරිද්‍රතාවය, ළමා දරිද්‍රතාවය සහ ආර්තව දුගී බව දුරලීම තේමා කරගනිමින් නෙළුම්යාය පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන දීප ව්‍යාප්ත වැඩසටහනක දෙවන අදියර මෙයයි. පසුගිය මාසයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ඔවුන් විසින් නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබිණි.
ශ්‍රී ලංකාවේ ආර්තව දුගී බව මුලිනුපුටා දැමීම පමණක් නොව ඒ සඳහා පරිසර හිතකාමී විකල්පයක් ද ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ පළමු ව්‍යාපෘතිය වශයෙන් ‘මිහිමව සුරකින හරිත දියණියෝ’ වැඩසටහන එහිදී ඓතිහාසික හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කළ අතර, මෙවර පැවැත්වුණේ එහි දෙවන අදියරයි.
සිය දෙනෙකුට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන මූලික කොටස් දෙකකින් සමන්විත විය. පළමු කොටස වෙන් වූයේ ‘ආර්තව දුගී බව’ යන මාතෘකාව සඳහා ය. ලොව පුරා ආර්ථික හා සමාජ විද්‍යාඥයන් විසින් ආර්තව දුගී බව දුරලීම, ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් වශයෙන් හඳුනාගෙන ඇති නමුදු ශ්‍රී ලංකා වාසීන්ට එය තවමත් නැවුම් සහ ආගන්තුක මාතෘකාවක් බව නෙළුම්යාය පදනම සඳහන් කරයි.



නෙළුම්යාය පදනම සහ මෙවැනි ව්‍යාපෘතියක කාලීන වැදගත්කම පිළිබඳ හැඳින්වීම හංසිනී සම්පත් විසින් සිදුකළ අතර ආර්තව දුගී බව හා සබැඳි සමාජ තහංචි පිළිබඳ පළමු දේශනය සමාජ විද්‍යාඥ තුෂාර මනෝජ් මහතා විසින් පවත්වනු ලැබීය. දෙවන දේශනයේදී වාණිජ සනීපාරක්ෂක නිපැයුම්වලින් සිදුවන පරිසර හානිය සහ ආර්ථික අයිතිවාසිකමක් වශයෙන් පරිසර හිතකාමී විකල්පයක් වෙත යාමේ අවශ්‍යතාවය නීතීඥ රදිකා ගුණරත්න විසින් අවධාරණය කරන ලදී. අනතුරුව නෙළුම්යාය පදනම විසින් අඩු ආදායම්ලාභී ග්‍රාමීය කාන්තාවන් සහ වැඩිවියට පත් පාසල් දැරියන් සඳහා සපයනු ලබන පරිසරහිතකාමී හා නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදනය නොමිලේ බෙදා දෙනු ලැබීය.



නෙළුම්යාය පදනම මෙම සමාජ සත්කාරයේ නියැළෙන්නේ කිසිදු ලාභ පරමාර්ථයක් හෝ ව්‍යාපාරික අපේක්ෂාවකින් තොරව වීම විශේෂ කාරණයකි.


‘මිහිමව සුරකින හරිත දියණියෝ’ වැඩසටහනේ දෙවන අදියර වූයේ, ඩෙංගු නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනයි. සංවේදී මුහුණුවරක් ගත් එම වැඩසටහන, 2017 අප්‍රේල් 7 වැනිදා කොළඹ ආසිරි සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේදී ඩෙංගු රෝගය යැයි නිසි ලෙස වෛද්‍යවරුන් විසින් හඳුනා නොගැනීම සහ නොසැලකිල්ල හේතුවෙන් අකාලයේ මරු වැළඳගත් රොමාලි ඩි සිල්වා යුවතියගේ අකල් මරණයට වර්ෂයක් සපිරීම අනුස්මරණය කරමින් පැවැත්විණි. ලංකා නිව්ස් වෙබ් විසින් කොටස් තුනකින් යුත් කථාන්දරයක් වශයෙන් පාඨක ඔබ හමුවට ගෙන ආ ‘මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ’ සත්‍ය කතාවේ කථා නායිකාව වන්නේ ද රොමාලි ද සිල්වා යුවතියයි. අවසාන මොහොත දක්වාම ඩෙංගු රෝගය වෙනුවට ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර කර, අවසානයේ රුපියල් ලක්ෂ 7ක රෝහල් බිලක් ද සමගින් දැයට අහිමි වූ රොමාලි ද සිල්වා යුවතිය වෙනුවෙන් ඇගේ දෙමාපියන් සහ පවුලේ හිතමිතුරන් රොමාලි ද සිල්වා අනුස්මරණ පදනම හරහා මේ වන විට නෙළුම්යාය සමග අත්වැල් බැඳගෙන සිටින්නේ ඇගේ හයිකු කවියක් බඳු කෙටි-අරුත් බහුල ජීවිතයේ ආදර්ශය ඇසුරෙන් අර්ථවත් සහ පුළුල් ප්‍රජා මෙහෙවරකට උර දීමේ අපේක්ෂාවෙනි.
මෙම වැඩසටහනට සහභාගි වීම සඳහාම රොමාලිගේ දෙමාපියන්, එකම සොයුරා ඇතුළු ඇගේ පවුලේ නෑදෑ හිත මිතුරන් 40කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ සිට මිහින්තලය වෙත පැමිණ සිටියහ.







වැඩසටහනේ අවසානය සනිටුහන් වූයේ මුතුහර රූපවාහිනී ළමා සමාජය නියෝජනය කළ, සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ දැක්වූ කායික අශක්නුකතතාවලින් පෙළෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවෙක් සහ දැරියන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කළ අපූර්ව රංගනයකිනි. එය රැස්ව සිටි පිරිසේ දෑස් කඳුලින් තෙත් කරන්නටත් මනුෂ්‍යත්වය සහ පොදු යහපත වෙනුවෙන් මිනිස් පවුලේ සෑම සාමාජිකයෙකුම සතු පුද්ගලික සහ පොදු වගකීම පිළිබඳ ඇස් අරවන්නටත් සමත් විය.





‘මිහිමව සුරකින හරිත දියණියෝ’ දෙවන වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ රොමාලි ඩි සිල්වා අනුස්මරණ පදනම විසිනි.









ඡායාරූප: අජිත් සෙනෙවිරත්න
සබැඳි:
‘මිහිමව සුරකින හරිත දියණියෝ’ සමග නෙළුම්යාය, ආර්තව දිළිඳුකම පිටුදැකීමට මුල පුරයි.
0 comments :
Post a Comment