
අද ජනාධිපතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවති අතර ඒ සඳහා සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් පමණි. ශ්‍රීලනිප ඇමතිවරුන්ද මේ වනවිට පාර්ශ්ව දෙකකට බෙදී සිටින අතර එම පාර්ශ්ව දෙක අද ස්ථාන දෙකකදී රැස් වී ඇති බව වාර්තා වේ.
2015 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසු පෙර නොවූ විරූ දේශපාලන අත්දැකීමක් අත්විඳීමට මෙරට ජනතාවට සිදු වූ අතර පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය. ඉන්පසු ප්‍රධාන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් ගොඩනැගූ අතර ඊළඟට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටි පක්ෂය විපක්ෂය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙකෙන් ශ්‍රීලනිපයේ බහුතර කණ්ඩායමක් විපක්ෂයේ වෙන්ව අසුන් ගත් අතර ඔවුන් ඒකාබද්ධ විපක්ෂය ලෙස හැඳින්විණි.
ඒ අනුව එකම පක්ෂය ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද නියෝජනය කරන අතර විපක්ෂයේ විපක්ෂයේ සුළුතර කණ්ඩායමකට විපක්ෂ නායකධූරය හිමි වී තිබේ.
යම් ආකාරයකට එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය තත්වය අභිභවා යන විකෘති තත්වයක් වී ඇති අතර අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අවසන් වූයේ එකී විකෘතිය විගඩමක් බවට පත් කරමිනි.
විශ්වාස භංගයේදී ආණ්ඩුව නියෝජනය කරන, කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පිරිසක් ආණ්ඩුවට සහ අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ අතර පාර්ලිමේන්තුවේ නිළ විපක්ෂය එහිදී ආණ්ඩුව සහ අගමැතිවරයා ආරක්ෂා කිරීම සඳහා ඡන්දය භාවිතා කළේය.
ඒ අනුව මේ වනවිට ආණ්ඩුව කවුද විපක්ෂය කවුද සැබෑ විපක්ෂය කවුද යන්න සොයා ගැනීම පවා සංකීර්ණ ගැටලුවක් වී ඇත.
ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් මේ වනවිට කණ්ඩායම් තුනකට කැඩී ඇති අතර ඉන් බහුතරය ඒකාබද්ධ විපක්ෂය නියෝජය කරයි. මීට අමතරව තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුව සමග සිටිය යුතු බව තවත් කණ්ඩායමක මතය වන අතර ඔවුන් විශ්වාස භංග යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටියේය. අනෙක් කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වියයුතුය යන මතයේ සිටින අතර ඔවුන් විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව යමින් ඡන්දය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එකී කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමෙන් සූදානමකින් නොසිටින අතර ඔවුන් පවසන්නේ තවදුරටත් ජනාධිපතිවරයා ආරක්ෂා කරගත යුතු බවයි.
එම කණ්ඩායම එළඹෙන 19 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට මේ වනවිටත් තීරණය කර තිබෙන අතර කෙසේ වෙතත් ආණ්ඩුවේ තනතුරු අත්හරින්නේ කවදාද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයකට පැමිණ නැත.
මේ පැටලිලි සහගත දේශපාලන තත්වය දැන් මාස දෙකකට අධික කාලයක් තිස්සේ දිගින් දිගටම ඇදීයමින් පවතින අතර එහි අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැත. මේ සියල්ල හරහා සිදුවන්නේ රට මෙන්ම රටේ ආර්ථිකය ද අස්ථාවරවීමයි.
0 comments :
Post a Comment